728x90 AdSpace

  • නවතම පුවත්

    Friday, May 19, 2017

    ගැලපිල්ල


    කරුවලගස්වැව පියසීලී ස්කෝල හාමිනේ රටේ තොටේ කෙතරම් ප්‍රසිද්ධියට පත්ව සිටියේ ද යත් ; සැතපුම් හැට හැත්තෑව මග දුර ගෙවා ගෙන කේන්දර බැලීමට පැමිණි ජනී ජනයා ගෙන් ඇගේ විශාල ගෙමිදුල පිරී ඉතිරී ගිය දවසක් නොවූයේ නම් ඒ පෝය දිනයක පමණි. පොරොන්දම් බැලීම හෙවත් විවාහ ගැලපීමට කොයි කවුරුත් අවසන් තීන්දුව ගත්තේ පියසීලී ස්කෝල හාමිනේගේ වචනය දේව වාක්‍යය ලෙස ගුරුකොට ගනිමිනි. කිසිවකුත් ඇගේ වචනයෙන් පිට විවාහය පිළිබඳව තීන්දු නොගත්තා සේම ඇය ද විවාහයක් සඳහා දෙදෙනකු සුදුසු බව තීරණය කෙළේ එහෙමත් අවස්ථාවකදී පමණි. කොල්ලන් සහ කෙල්ලන් අතර හටගන්නා පෙම් පළහිලව්වලට එක් පාර්ශ්වයක වැඩිහිටියන් විරුද්ධව සිටියේ නම් නිසැකයෙන් ම ඒ කේන්දර දෙක පියසීලී ස්කෝල හාමිනේ වෙත ඉදිරිපත් කොට අවසන් තීන්දුව ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබිණ.
    නිසි වයස සම්පූර්ණ වීමත් සමඟ ම ගුරු වෘත්තියෙන් විශ්‍රාම ලැබූ ඇය ඊට වසරකට පෙර සිට කොළඹ පාමංකඩ ගුරුන්නාන්සේ වෙතින් ජ්‍යොතිෂ්ශාස්ත්‍රය ඉගෙන ගැනීම ආරම්භ කරත්දී ඇගේ එකම දියණිය වූ සුජාතා හාපිටිගම් විද්‍යා පීඨයේ ගුරු පුහුණුව ලබමින් සිටියා ය. ආණමඩුවේ පාඨශාලාවට මුල්ම පත්වීම ලද තම දියණිය සමඟ කරුවලගස්වැව මහගෙදර පදිංචියට පැමිණ මාසයක් ගතවීමටත් පෙර පියසීලී ස්කෝල හාමිනේ විසින් කේන්දර බැලීමේ වෘත්තිය ආරම්භ කරනු ලැබුවා ය. විශ්‍රාමික ජීවිතයේ කාංසිය පාළුව දුරු කැර ගන්නා අතර ම අමතර ආදායම් මාර්ගයක් ලෙස ඇය විසින් කේන්දර බැලීම ආරම්භ කරන ලද නමුත් එතැන් සිට ඇගේ ජීවිතය කණපිට පෙරළිණ. සතියේ සෑම දිනෙකම හිරු නැගෙන්නටත් පෙර සිට ඇගේ විශාල ගෙමිදුල පිරී ඉතිරී යන්නේ නොයෙක් ප්‍රදේශවල සිට පැමිණෙන මිනිසුන් පටවා ගත් රථවාහන වලිනි. වසර තිස් ගණනක් ගුරු වෘත්තියේ යෙදීමෙන් ලද මුළු ආදායම මෙන් දස ගුණයක වත්පොහොසත්කමක් වසර දෙක තුනක් තුළදී ඇයට උපයාදීමට මේ කේන්දර කර්මාන්තය සමත් විණ. ඇගේ විශේෂඥභාවය ප්‍රකටව තිබුණේ ටක්කෙටම පොරොන්දම් ගැලපීම සහ විවාහ දෝෂ දුරුකිරීම සම්බන්ධයෙනි.
    එක් දිනෙක පාසල නිමවී නිවෙසට පැමිණි සුජාතා දිවා ආහාරයවත් නොගෙන නිදි යහනේ වැතිර මුහුණ කොට්ටයට ඔබාගෙන ආතුර විලාසයෙන් සිටින අයුරු පියසීලී ස්කෝල හාමිනේ දුටු නමුත් ඒ වගක් නොදුටුවාක් මෙන් ඇය තම කටයුතුවල යෙදුණාය. දෙවැනි දිනයේත් තෙවැනි දිනයේත් පෙර ලෙසම සුජාතා පාසල නිම වී පැමිණි වහාම කෙළේ ඇඳට වැටී කිසිවකට දැපනේ වැටුණාක් මෙන් හෝන්දු මාන්දු විලාසයක් පළ කිරීමය. ඇය පසුදින පාන්දරින් ම අවදිව රාජකාරියට යෑම සඳහා හැඳ පැළඳ ගනිමින් සිටියදී අනපේක්ෂිතව පියසීලී ස්කෝල හාමිනේ සුජාතාගේ කාමරයට හිස පෙව්වා ය.
    ' මොකද ළමයො මේ මගුල් තුලාවකට යන්න තරමට හැඩ වැඩ වෙන්නෙ .. මං දැං දවස් දෙක තුනක්ම බලාගෙන හිටියේ ... ස්කෝලේ රාජකාරියට නං ඔය විච්චූරණ බොහොම වැඩියි .. ' යි ඇය නොරිස්සුම් ස්වරයෙන් කීවාය.
    ' මොන විච්චූරණයක් ද ..? අම්මලගේ කාලේ වගේ නෙවෙයි නෙ දැං .. මේ කාලේ කොයි කවුරුත් අදින්නේ මෙහෙම තමා .. මට විතරක් ගමමහගේ වෙලා කොං වෙන්න පුළුවනෑ .. ' යි සුජාතා ඊට වහාම පිළිතුරු බැන්දේ උස් ස්වරයෙනි.
    සුජාතා තරුණ උපාධිධාරී ගුරුවරයකු සමඟ අමුතු ඇයි හොඳයි කමක් පවත්වන්නට පටන් ගෙන ඇති බැව් පියසීලී ස්කෝල හාමිනේට ආරංචි වී තිබිණ. ඒ පිළිබඳව සියලු තොරතුරු අංශුවක් නෑර සොයා ගත් ඇය ටික දවසකට පසුව කෙළින්ම තරුණ ගුරුවරයා සොයා ගොස් ඔහුට කතා කළාය.
    ' මේ ළමයට මගේ දුව ගැන අදහසක් තියෙනවා නං දවසක් යොදා ගෙන අම්මා තාත්තා වැඩිහිටියොත් එක්ක මගේ ගෙදරට ඇවිත් කතාබහ කරලා තීන්දුවක් ගන්න පුළුවන්කම තියෙද්දී මොකටද මේ බස් හෝල්ට්වලයි පාර තොටෙයි කොකං පාන්නේ නේ ද ... ඉගෙන ගත්ත මිනිස්සු .. හැටියට දරුවන්ට උගන්වන ගුරුවරු හැටියට ඒක ගැලපෙන්නේ නෑ නේ නේද .. ' යි පියසීලී ස්කෝල හාමිනේ ඔහුට දැනමුතුකම් දුන්නාය. එයින් හරියටම සතියකට පසු තරුණ ගුරුවරයා තම දෙමාපියන් ද සමඟ පියසීලී ස්කෝල හාමිනේගේ නිවෙසට පැමිණෙන විට කේන්දර බැලීමට පැමිණ සිටි සෙනඟ පොදියක් ඇය වට කැරගෙන සිටි හෙයින් හෝරාවක් දෙකක් පමණ එළිපත්තේ සිටම උඩ බිම බලමින් සිටීමට මනාල පාර්ශ්වයට සිදුවිය. ඔවුන් පැමිණ සිටි බැව් සුජාතා කිහිප විටක්ම තම මවට සිහිගැන්වූවද පියසීලී ස්කෝල හාමිනේ ඊට ප්‍රතිචාර දැක්වූයේ උපහාසය මුසු රෞද්‍ර බැල්මකිනි. අවසානයේ මනාල පාර්ශ්වය නොකියා ම පිටත්ව ගිය අතර ඒ වන විටත් පියසීලී ස්කෝල හාමිනේ කේන්දර ගලපමින් සිටියා ය. එයින් පසුව සුජාතාගේ පළමු ප්‍රේමය අළු දූවිලිවත් නැතිව අවසන් වූවා සේම අම්මා සහ දුව අතර නයි මුගටි කෝන්තරයක් මතුව ආවේය.
    මේ සිද්ධියෙන් මාස හය හතකට පසු ජේත්තුවට හැඳ පැළඳගත් තරුණ බැංකු කලමනාකරුවකු තම කේන්දරය ද රැගෙන පියසීලී ස්කෝල හාමිනේ හමුවීමට පැමිණියේ ය. එය ඉතා බලවත් වාසනාවන්ත කේන්දරයක් බව පැවසූ පියසීලී ස්කෝල හාමිනේ ' මේ මහත්මයාට තවත් මාස හයක් ඇතුළත විවාහය සඳහා උගත් ධනවත් සුරූපී සහකාරියක ලැබෙනවා ' යි සිනාමුසුව කීවාය. ඒ සමඟ ම උනන්දු සහගත පොපියන ලැජ්ජාවෙන් මුහුණ රතුකර ගත් තරුණයා කිසියම් බාහිර ශක්තියක් ආරූඪ කර ගන්නා බවක් පෙන්වමින් පපුව පුම්බාගෙන උගුර පාදමින් මෙසේ කීවේය. ' ඔව් මට දැනටත් එහෙම කෙනෙක් මුණ ගැහිලයි තියෙන්නේ .. නමුත් සුජාතා මට කිව්වා අම්මගෙන් අහන්නැතුව වචනයක් දෙන්න බැහැයි කියලා .. ඉතිං මං ඒකයි මේ කෙලින්ම ඔබතුමිය හමුවෙන්න ආවේ ..' ඒ වචන ඇසීමත් සමඟ ම පියසීලී ස්කෝල හාමිනේ සිය උපැස් යුවළට උඩින් තරුණයා දෙස බැරෑරුම් බැල්මක් හෙලුවාය. ' .. බොහොම හොඳයි පුතා ඔහොම වැදගත් විදිහට ඍජුව වැඩකරන ළමයින්ට කවදත් මං ආදරෙයි .. මගේ නං විරුද්ධත්වයක් නෑ .. ඒත් ඉතිං අපි ලෝක සම්මත චාරිත්‍ර රකින්න ඕනෑ නේ නේද .. පුතාගේ අම්මා තාත්තා වැඩිහිටියෝ එක්ක කතා කරලා තීන්දුවක් ගමු .. ' යි ඇය කීවාය. ඊ ළඟ පුරපසළොස්වක පෝය දිනයේදී මනාල පාර්ශ්වය කරුවලගස්වැවට පැමිණි අතර දෙපාර්ශ්වය ඉතා සැහැල්ලුවෙන් සහ ප්‍රබෝධයෙන් කතාබස් කොට සමුගත්තෝය. ඒ දවසේ රෑ අහසේ පුරහදටත් වඩා සුජාතාගේ මුහුණ බැබලෙමින් තිබිණ. එහෙත් සතියක් ගතවෙත්දී ඇගේ මුහුණ අමාවක රෑටත් වඩා කළුවර සහ මූසල ස්වරූපයක් ගත්තේ මනාල පාර්ශ්වය විසින් දිගින් දිගට ම සුජාතාව මග හරිනු ලැබීම නිසාය. ' ... මගේ දුව වුණත් මට මේ ශාස්ත්‍ර නියමය කඩකරන්න බෑ .. සුජාතාගේ කේන්දරේ බොහොම නපුරු විෂ කන්‍යා යෝගයක් තියෙනවා .. ඒක නියත කණවැන්දුම් යෝගයක් .. ඉතිං දැන දැන ම කෝමද මේ තරුණ පිරිමි ළමයකුගේ ජීවීතේ අනතුරට තල්ලු කරන්නේ ..' යි පියසීලී ස්කෝල හාමිනේ විසින් මනාලයාගේ මවට කියා තිබිණ.
    සුජාතා මැලවුණු මුහුණින් යුතුව කාලය ගත කරනු දුටු පියසීලී ස්කෝල හාමිනේ එක් දිනෙක ඇය අමතා මෙසේ කීවාය. ' මම මේක ඔයාට නොකියන්නයි හිටියේ ඒත් අන්තිමට මං හිතුවා කියන්න ඕනෙයි කියලා ... අර එදා ආව බැංකුවේ මනුස්සයා නං හොඳයි .. ඒත් එයාට එච්චර ආයුෂ නෑ ... මම දැන දැන ම කෝමද ළමයෝ ඔයාව කණවැන්දුම් වෙන කසාදයකට කැමැත්ත දෙන්නෙ .. අපි ඔන්නෝක අමතක කරලා වෙන දෙයක් බලමු ... මොකද මං කසාද බැඳලා මාස තුනක් යත්දී ඔයා ඉපදෙන්න හිටියා ... ඊට මාසෙකට පස්සේ ඔයාගේ තාත්තා නැති වුණා ... අන්න එදා ඉදං මං කණවැන්දුං වුණා .. මට වෙච්ච දේ ඔයාට වෙන්න මං ඉඩ තියන්නෑ .. '
    තම මව විසින් මෙතෙක් තමන්ට සඟවා තබනු ලැබූ රහසක් පළමු වරට අසන්නට ලැබීමෙන් සාමාන්‍යයෙන් කෙනෙකු තුළින් මතුවන කුතුහලය වෙනුවට සරදම් විලාශයේ මුහුණක් මවාගත් සුජාතා ' .. මං කවදාවත් තාත්තගේ පිංතූරයක් දැකලා නෑ .. අඩු ගානේ ඔය දෙන්නගෙ වෙඩිං පොටෝ එකවත් මං දැකලා නෑ .. මේක හරි පුදුමයක් නෙ .. ' යි කීවාය. මෙවැනි අනපේක්ෂිත වාග් ප්‍රහාර හමුවේ සුපුරුදු ලෙස කන්නාඩි කුට්ටමට උඩින් රවා බලන පියසීලී ස්කෝල හාමිනේ ගස්සාගෙන ඉවතට යන්නීය.
    තම ප්‍රශ්නයට පිළිතුරු නොදී නොමනාපයෙන් ඉවතට යන පියසීලී ස්කෝල හාමිනේට පන්නා ගෙන ගොස් පහර ගසන්නාක් බඳු ස්වරයෙන් සුජාතා කෑ ගැසුවාය. ' .. මේ ගෙදර උපන්තේකට පිරිමි පුලුටක් නෑ ... ගෙදර එකී ගෙදරට නාකි වෙනවා ඒ වුණාට මොකද රට්ටුන්ට නං මගුල් කේන්දර ජෝඩු කරනවා .. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ ... ' යි ඈ කළ ගෝරනාඩුව ඒ වනවිට කේන්දර බැලීමට පැමිණ සිටි පිරිසට පවා හොඳින්ම ඇසිණ.
    මේ සිද්ධියෙන් පසුව මාස හය හතක් ගෙවී යත්දී එක් දිනෙක සුසුකි 400 සුපිරි පොලිස් යතුරු පැදියක් පියසීලී ස්කෝල හාමිනේගේ ගෙමිදුලේ නතර කරන ලද අතර එයින් බැසගත් උප පොලිස් පරීක්ෂකවරයකුගේ නිල ඇඳුමින් සැරසුණු ආරෝහ පරිණාහ දේහ විලාශයෙන් යුත් කඩවසම් තරුණයකු කෙලින්ම පියසීලී ස්කෝල හාමිනේ කේන්දර බලමින් සිටි කාමරයට ඇතුළු වූයේ එහි පැවති ප්‍රමුඛතා පිළිවෙළ නොතකා හරිමිනි. ' මට ඔබතුමිය සමඟ ඉතා පෞද්ගලික කාරණාවක් කියන්නට තියෙනවා ..' යි ඔහු කියා සිටි අතර කේන්දර බැලීම අතරමග නතර කළ පියසීලී ස්කෝල හාමිනේ ඔහු කැටුව නිවසේ ඇතුළු කාමරයකට ගියාය. ' ඔබතුමියගේ දුව සුජාතා මා එක්ක දැන් මාස කිහිපයක ඉදන් ප්‍රේම සම්බන්ධයක් පවත්වනවා එයා අද උදේ මගේ නවාතැනට ඇවිත් කිව්වා ආපහු ගෙදර යන්න බෑ .. මාත් එක්ක නතර වෙනවාය කියලා .. අපිට ඕනේ නම් විවාහ වෙන්න කිසිම නීතීමය බාධාවක් නෑ .. නමුත් මම නීතිය විතරක් නෙවෙයි සිරිත් විරිත් යුතුකම්වලට ගරුකරන පොලිස් නිලධාරියෙක් හැටියට මේ ගැන ඔබතුමිය දැනුවත් කරන්නයි මේ ආවේ .. ' යි ඔහු කීවේය. ඒ ඇසූ පියසීලී ස්කෝල හාමිනේ තම උපැස් යුවළ ගලවා වීසී කැර දමා කඳුළු වගුරුවමින් හඬන්නට ගත්තාය. ' මට මගේ එකී ගැන ලැජ්ජයි .. නමුත් මේ ළමයා ගැන මට හරි ආඩම්බරයි .. ඔය කතා කරපු වචන ටිකම ඇති පුතා .. මට ඔයා කවුද කියලා තේරුම් ගන්න .. ලෝකේ ඕනම රැජිනකට ගැලපෙන හොඳ පෞරුෂයක් තියෙන පුරුෂරත්නයක් .. ඔයා වගේ පුතෙක් අපේ එළදෙනව කසාද බදින්න කැමති වුණ එකත් මට පුදුමයි .. ' යි ඇය හැඩුම්බරව කීවාය. පියසීලී ස්කෝල හාමිනේගේ ආශ්ර්වාදය ඉහටත් උඩින් ලබාගත් තරුණ උප පොලිස් පරීක්ෂකවරයා සුජාතා හමුවට ඉගිලුණේය. ' මොකද අම්මා කිව්වේ අපේ ග්‍රහයො ගැලපෙන්නෑ කිව්වද .. ? ' යි ඔහු දුටු විගසම සුජාතා විමසුවාය. ' මේ යුනිපෝම් එක දැක්කම ඔය ඕන ග්‍රහයෙක් මෙල්ල වෙනව බබා .. ' යි ඔහු ජයග්‍රාහී විලාසයෙන් කීවේය.
    විවාහය සඳහා මවගේ කැමැත්ත පමණක් නොව අදාළ දිනය පවා තීන්දු වී තිබුණු නිසා එදිනම සවස කිසිවක් සිදු නොවූ සේ සුජාතා නිවෙසට පැමිණියා ය. පියසීලී ස්කෝල හාමිනේ ද කිසිවක් සිදු නොවූ සේ කල් ගත කළාය. දින තුනකට පසුව තරුණ උප පොලිස් පරීක්ෂකවරයාට හදිසි ස්ථාන මාරුවක් ලැබිණ. ඔහු ඒ බැව් සුජාතාට නොකීවා පමණක් නොව ඔහු යන තැන පිළිබඳව කිසිදු හෝඩුවාවක් ඉතිරි කැර නොයන්නට ද වගබලාගෙන තිබිණ. මේ අනපේක්ෂිත කම්පනය දරාගත නොහැකිව නිරාහාරව කඳුළු පෙරමින් සිටි සුජාතාගේ කාමරයට හිසපෙවූ පියසීලී ස්කෝල හාමිනේ සරදම් හඬින් මෙසේ කීවාය. ' ඔය තරු පෙන්නගෙන එන එවුං දන්නෑ ඊට වඩා ලොකු තරුවක් ඇල්ලුවහම තියෙන තරුවත් හැලෙන්න පුළුවන් ය කියලා .. ' යි ඇය කීවේ උස් ස්වරයෙනි. ඊට කිසිදු ප්‍රතිචාරයක් පළ නොකොට මළමිනියක් සේ ඇඳේ වැතිර සිටින සුජාතා කුපිත කරවන ස්වරයෙන් පියසීලී ස්කෝල හාමිනේ මෙසේ ද කීවාය . ' ඔන්න හොඳට මතක තියා ගනිං සුජාතා .. උඹට හොරෙන් පැනලා ගිහිංවත් කසාදයක් නං කර ගන්න බෑ .. ' යි කී ඇය දිගු පියවර තබමින් කේන්දර කාමරයට ගියාය.
    අවිවාහක සුජාතාට අවුරුදු 49 යි මාස 08 ක් පිරී තිබියදී පියසීලී ස්කෝල හාමිනේ අභාවප්‍රාප්ත වූවාය. එයින් වසරක් ගත වූ තැන කරුවලගස්වැවෙන් කොළඹ පාසලකට ස්ථාන මාරුවක් ලබාගත් සුජාතා තම අලුත් ජීවන පරිච්ඡේදය ආරම්භ කෙළේ නීත්‍යානුකූලව තම බාරකාරත්වයට ගත් සිඟිති දියණියක සමඟිනි. නිසි කලට ගුරු සේවයෙන් විශ්‍රාම ලැබූ සුජාතා කේන්දර කර්මාන්තය ආරම්භ කළාය. විවාහ පොරොන්දම් ගැලපීමේ හස්තසාර රහස් සියල්ලක් ම මනාව දැන සිටි හෙයින් පියසීලී ස්කෝල හාමිනේටත් වඩා සුජාතාගේ නම දස දෙස පතල වූයේ විදුලි වේගයෙනි. මතු අනාගතයේ දිනෙක සුජාතාගේ දියණිය නතාෂා සුජාතාටත් වඩා දක්ෂ ලෙස විවාහ පොරොන්දම් ගලපනු ඇතැයි කාට නම් නොකිව හැකිද ?

    - කේ.සී.ජේ.රත්නායක 

    (Silumina Newspaper)
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ගැලපිල්ල Rating: 5 Reviewed By: NT
    Scroll to Top