728x90 AdSpace

  • නවතම පුවත්

    Friday, June 23, 2017

    තුන්කල් නුවණ


    කලවැල්මුල්ලේ ගුරුන්නාන්සේ පුදුම හාදයෙකි. ඔහු සෙත් කවියක් ලීවොත් එය වස් කවියක් වෙයි.වස් කවියක් ලීවොත් එය නිසැකයෙන් ම නපුරු වස් කවියක් වෙයි. ඒ කාටවත් නොව ඔහුට ම ය. වරෙක ඔහු වේලාපත්කඩ පිළිබඳව කෘතියක් රචනා කොට සුබ මුහුර්ත යොදා ගෙන ඔහුට ඉතා ම සුබ දිනයක එකී කෘතිය දොරට වැඩීමේ උත්සවය සංවිධානය කෙළේ සම්භාවනීය අමුත්තන් රැසකට ඇරියුම්පත් යවමිනි. කොතැන ගියත් තමාට එරෙහිව හතුරකු ඉස්මතු වී අරෝ බරෝවක් පටලවන හෙයින් උත්සවයට පෙර දින රාත්‍රියේ ඔහු තමා වෙනුවෙන් සෙත් කවියක් රචනා කොට තම බිරිඳ ලවා එය ගායනා කරවූයේය.
    පසුදින ගුරුගේ හෝරාවෙන් ගුරු පංචම හෝරාවෙන් ගුරු සූක්ෂ්ම හෝරාවෙන් කුකුළා පොල්තෙල් පහන දැල්වූ කලවැල්මුල්ලේ ගුරුන්නාන්සේ උත්සවයේ කටයුතු ආරම්භ කළ අතර එය ඉතා කලඑළියට පැවැත්විණ. ආණ්ඩුව නියෝජනය කරමින් එහි පැමිණ සිටි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ බලවත් ඇමැතිවරයෙකි.ඔහු තම කතාවේදී කියා සිටියේ ' කලවැල්මුල්ලේ ගුරුන්නාන්සේ ලංකාවේ නැකත් චක්‍රවර්තී වන බවත් ඔහු අද ඉර්සීන්නාන්සේ කෙනෙකු මෙන් තුන්කල් දන්නා නුවණින් යුතුව රටේ ජාතියේ උන්නතිය පිණිස වෙහෙස විනිසෙහි යෙදෙන යුග පුරුෂයකු බවයි ' .
    ඉන්පසුව සභාව ඇමතූ ආරාධිත දේශකයන් සියලු දෙනා ම පාහේ පුන පුනා සඳහන් කෙළේ කලවැල්මුල්ලේ ගුරුන්නාන්සේ තුන්කල් දන්නා ඉර්සින්නාන්සේ කෙනෙකු බව අවිවාදයෙන් පිළිගත යුතු බවයි. මේ කතා අසමින් සිටි කලවැල්මුල්ලේ ගුරුන්නාන්සේ අමන්දානන්දයට පත්වූවා පමණක් නොව එය දරාගත නොහැකිව උපැස් යුවල යටින් දබරැගිල්ල රිංගවා නෙත් කොන් අග රැඳී කඳුළු බිඳු පිසදැමුවේය.
    සෑම සියලු දෙයක් ම හිතුවාටත් වඩා මහ ඉහළින් මස්තක ප්‍රාප්ත වූ හෙයින් සතුටින් බරව ගිය හදවතින් යුතුව වේදීකාවට ගොඩවූ හෙතෙම ඉතා හැඟීම්බර වචන තෝරා බේරා ගනිමින් ඉතා ම කෙටියෙන් ස්තූති කතාව පටන් ගත්තේය. අවසානයේ ඔහු පැමිණ සිටි සියලු දෙනාට සෙත් පතමින් කවියකින් තම කතාව හමාර කෙළේය. ඔහු ඒ සඳහා යොදා ගත්තේ පෙර දින රාත්‍රියේ තම බිරිඳ ලවා කියවූ සෙත් කවිය යි.
    ඒ සමඟ ම ඔහු දෙනෙත් සිසාරා යවමින් සභාව දෙස බැලූවේ තම සුරූපී තරුණ බිරිඳ කොතැනක අසුන් ගෙන සිටී දැයි සොයා ගැනීමටය. කලවැල්මුල්ලේ ගුරුන්නාන්සේ දෙවැනි වරට විවාහ වූයේ ඔහුට වඩා අවුරුදු 16 ක් ලාබාල තැනැත්තියක සමඟය. ඇය පෙර විවාහය අසාර්ථකවීම නිසා පීඩාවට පත්ව සිටියදී කේන්දරය බැලීම සඳහා ඔහු වෙත පැමිණි අතර නොබෝ දිනකින් ඔවුහු දෙදෙනා විවාහ වූහ. දෑවුරුදු විවාහ සැමරුම යෙදී තිබුණේ ද පොත දොරට වැඩීමේ දිනයට පසුදිනයේ ය. තමා කල් ඇතිව උත්සවය සඳහා සුබ මොහොතින් නිවෙසින් නික්ම පැමිණි අතර මිතුරියක සමඟ දෙවනුව උත්සව සභාවට පැමිණෙන බැව් ඇය ඔහුට කීවා මතකය. පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් විසින් තමා පසසමින් කළ කතා කියමන් අසා ඇය තමාටත් වඩා සතුටට පත්වන්නට ඇතැයි ඔහු සිතුවේය.
    උත්සවය නිමා වී සංග්‍රහ සත්කාර භුක්ති විඳීමින් සිටින අතරතුර බොහෝ දෙනෙකු පැමිණ සුබ පතන අතරවාරයේ 'නෝනා මහත්තයා' ගැන ද විමසූ අතර ඇය දකින්නට නොලැබුණෙන් කලවැල්මුල්ලේ ගුරුන්නාන්සේ බෙහෙවින් කලබලයට පත්ව වේගයෙන් තම නිවෙස බලා රිය ධාවනය කෙළේය. නිවෙසේ සියලු දොර ජනේල වසා දමා තිබූ අතර කිසිවකුත් එහි ඇතුළත සිටින බවට කිසිම හෝඩුවාවක් ද දකින්නට නොලැබුණු හෙයින් ඔහු තම නිවෙසේ දොර කඩා ඇතුළට පිවිසෙන විට ඒ කලබලය අසා පැමිණි අසල්වාසීන් පොකුරක් ද ඔහු සමඟ ම අනාරාධිතවම නිවෙස තුළට ඇතුළු විය. එහෙත් ඔහුගේ බිරිඳ නිවෙසේ කොතැනකවත් දකින්නට නොලැබුණා පමණක් නොව ඇය යළි කිසි දිනෙක කලවැල්මුල්ලේ ගුරුන්නාන්සේගේ තුන්කල් දෘෂ්ටියට ග්‍රහණය වූයේද නැත.

    -කේ.සී.ජේ.රත්නායක

    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: තුන්කල් නුවණ Rating: 5 Reviewed By: NT
    Scroll to Top