728x90 AdSpace

  • නවතම පුවත්

    Friday, June 9, 2017

    අත්තම්මා


    කලින් සැලසුම් කැරගත් කිසියම් කටයුත්තක් වූයේ නම් අයහපත් කාලගුණය වැනි හේතුවක් නිසා එය තරමක් පමා කිරීම සාධාරණ විය හැකිය. එහෙත් වැස්ස හෝ අව්ව හෝ ගැන කියමින් ඒ වැඩේ නොකර සිටීම නම් තකතීරූකමක් යැයි අපේ අත්තම්මා නිතර නිතර කීවා පමණක් නොව අපේ අම්මාගේ එවැනි වැඩ පැහැර හැරීම් ඇය විසින් නිර්දය විවේචනයට ද ලක් කරනු ලැබුවාය. මහවැසි ඇද හැලී ගම්බිම් යටවී තිබුණ ද පසළොස්වක පෝය දවසේ හිමිදිරි පාන්දරින් ම සිල් සමාදන්වීම පිණිස පන්සලට යෑම ඇය කිසිදා පැහැර හැරියේ නැත.
    ' මේ මහ වැස්සේ පාරකට බහින්න පුළුවන්ද අම්මේ ..? ' යි එවැනි අවස්ථාවක අපේ අම්මා කංකෙදිරි ගාන්නීය. ' ඉතිං මොකෝ ... පන්සල තෙමෙන්නෑනේ ... ' යි සැර ස්වරයෙන් ඊට උත්තර දෙන අත්තම්මා වැහි අදුර මැද බබලන සුදු වස්ත්‍රයෙන් සැරසී සංසුන් ගමනින් පන්සල වෙත ගමන අරඹයි. තම සිල් රෙදි කට්ටලය මනාව සෝදා පවිත්‍ර කොට ඒවා ඉරක් පලුද්දක් නැති ලෙස ඉස්තිරික්ක කිරීමට ඇය හැම විටම විශේෂයෙන් උනන්දු විය. කෙස් ගහට ඉස්තිරික්ක කළ සුදෝ සුදු සිල් වස්ත්‍රය මෙන් ම එකක් නෑර සුදු වී ගිය ඇගේ කේශ කල්‍යාණය සදාකල් මතකයේ රැඳෙන සුළුය.
    තත්ත්වය මෙසේ තිබියදී 80 දශකයේ මැද භාගයේදී ජීවිතයේ මුල්වරට විදේශ සංචාරයක යෙදීමට මට අවස්ථාව උදාවිය. මේ ආරංචියෙන් ඉහවහ ගිය ප්‍රීතියෙන් කුල්මත්ව ගිය අත්තම්මා එතැන් සිට මගේ විදේශ ගමන ගැන බලවත් උනන්දුවෙන් වෙහෙස මහන්සි වෙමින් අලුත් ම ඇදුම් සහ පාවහන් ඇතුළු භාණ්ඩ තොගයක් මා වෙනුවෙන් මිලට ගත්තා පමණක් නොව ගුවන් යානයට නැගීමේ සිට පෙරළා නිවෙසට ඒම දක්වා වූ බොහෝ කරුණු ගැන මට සෑහෙන උපදෙස් මාලාවක් දුන්නේ ඇය කලෙකට පෙර දඹදිව සංචාරයකදී ලැබූ අත්දැකීම් ද සිහිපත් කරමිනි. කොහොමටත් අත්තම්මා සහ මා අතර ඉතා හෘදයාංගම බැඳීමක් තිබුණා පමණක් නොව අන් මුණුපුරන් සහ මිණිපිරියන්ට වඩා හැමවිටම මා කෙරෙහි ඇය ඇල්මක් දැක්වූ බැව් රහසක් නොවීය. මේ විශේෂත්වය අනෙක් අයගේ ඊර්ෂ්‍යාවට සහ නොරිස්සුමට භාජනය වීම වැළැක්විය නොහැකි විය. එවැනි අවස්ථාවක ඔවුන්ගේ නොරිස්සුම තීව්‍ර කරමින් ඇය මෙසේ කියන්නීය . ' ... ඔව් ඉතිං මොකෝ චූටි පුතයි මායි ..අපි දෙන්නම එකම ලග්නයෙන් නේ ඉපදිලා තියෙන්නේ ' යි කියන ඇය ' ලබා උපන් හැටියට තමා ඉතිං .. කොයි දේත් .. ' යි තවදුරටත් කියා සිටින්නේ කිසිවක් නොසඟවන සහ අනෙකා සහමුලින් දුර්මුඛ කරවන ලීලාවෙනි.
    නියමිත දින මා ගුවන් තොටුපොළ බලා යෑමට සූදානම්ව සිටියදී කිසිවකුටත් නො පෙනෙන්නට ඇය මට හොඳින් අලවා ඊටත් අමතරව හතර පැත්තෙන් ම හණ නූල්පටකින් බඳින ලද ලියුම් කවරයක් දුන්නා ය. එසේ දෙන අතර ඇය මෙසේ කීවාය. ' ... මෙහේ දැං තියෙන ඉස්තිරික්ක හරිම බාලයි ළමයෝ සිල් රෙදි ටිකවත් හරියට මැදෙන්නෑ ... ඔන්න මට හොඳ ඉස්තිරික්කයක් ගේන්න කෝ .. ඔය සල්ලි ටික පරිස්සම් කරගන්න ඕනේ හොදේ ... ' යි කී අතර ඇය මට බොහෝ අවස්ථාවල මුදල් දී ඇතත් අන් කිසිදාටත් වඩා ඇගෙන් ලැබුණු මේ මුදල් කවරය සහ ඒ සමඟ ඇය විසින් කියන ලද වදන් පෙළ ඉතා බරට මගේ හිතට කා වැදී ගියේය. ගුවන් තොටුපොළේදී මුදල් මාරු කිරීම සඳහා ඇගේ කවරය විවෘත කළ විට එහි රුපියල් පන්දහසක් තිබිණ.
    මා සමඟ තවත් සගයන් තුන්දෙනෙක් ශ්‍රී ලංකාවෙන් හොංකොං බලා පිටත්ව ගියේ පාරිසරික මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව සති හතරක නේවාසික වැඩමුළුවක් සඳහා ය. ඒ අතර ලැබුණු පළමු විවේක දිනයේදී ම සාප්පු සංකීර්ණයට ගිය මම අත්තම්මා වෙනුවෙන් විදුලි ඉස්තිරික්කයක් මිලට ගතිමි. ඉස්තිරික්කය හොදින් වැඩ කරනවා දැයි පරීක්ෂා කළ යුතුය යන මුවාවෙන් තම තමන්ගේ රෙදි මැදීමට එය ඉල්ලා ගත් මගේ මිතුරන් තිදෙනා අතර කාමරයෙන් කාමරයට එය ගමන් කෙළේ ය. කෙසේ නමුත් වැඩමුළුව අවසාන වී පෙරළා ශ්‍රී ලංකාව බලා එන අතරේ මට ඉස්තිරික්කය සිහිවිණ. එහෙත් එය අතුරුදන්ව තිබිණ. මගේ සගයන් තිදෙනාට ද ඒ පිළිබඳව කිසිම මතකයක් ඇති බැව් නො පෙනිණ. මා තුළ හටගත් කම්පනය මගේ මුහුණින් උතුරා පිටාර ගලා යෑම දරාගත නොහැකි වූ බවට සංවේදී වූ එක් සගයකු පමණක් මගේ සිත් සනසන අටියෙන් මෙසේ කීවේය. ' ෆොරින් බඩු ගෙන්වන පිටකොටුවේ කඩයක් ගැන මං දන්නවා .. අපි එතනිං අයන් එකක් ගමු... ' . ඔහු සමඟ ගොස් විදුලි ඉස්තිරික්කයක් මිලට ගත් මම ගෙදර ගිය විගස ම එය අත්තම්මාට දුනිමි. රටක් රාජ්‍යයක් ලැබුණාටත් වඩා සොම්නසින් එය අගය කළ ඇය ඉන් නතර නොවී සියලු දෙනාට ම එය පෙන්වමින් උජාරුවෙන් කියා සිටියේ ' මේක හොඳ ඉංග්‍රීසි ඉස්තිරික්කයක් .. චූටී පුතා තමා මට මේක තෑගී දුන්නේ ' යි කියාය.
    දින දෙක තුනක් ගතවෙත්දී අපේ අම්මාගේ සහෝදරියකගේ පුත්‍රයකු වූ නෑ කමට මට අයියා වන කවදත් අනුන්ගේ අහු කොං සොයා කයි කතන්දර පට බඳින ' අයියා ' මා හමුවට පැමිණියේ හොරෙකු අල්ලා ගන්නට එන පොලිස්කාරයකු මෙනි.
    ' මල්ලී .. කොහෙන්ද අර අයන් එක ගත්තේ .. ' යි ඔහු අසයි.
    ' හොංකොං .. ' යි මම කීවෙමි.
    ' .. හොංකොං .. ? හොංකොං වලින් ගත්තා නම් ඒකට පිටකොටුවේ කඩේකින් බිලක් වැටුණේ කොහොමද ඕයි පෙට්ටියේ අඩියට .. ? ' යි ඔහු බිල්පතක් පෙන්වමින් මට ඔච්චම් කෙළේ ය.
    ' දැං තමුසේ ඕක ආච්චි අම්මටත් පෙන්නුවද .. ? යි මම ඉවසුම් නැතිව ඇසුවෙමි.
    ' තාම නෑ ... ඉතිං .. ' යි ඔහු කියන්නේ සියුම් තර්ජනාත්මක ස්වරයෙනි.
    ඇගෙන් ඇටයක් ගැලවී යනවාටත් වඩා දැඩි අසීරූවකින් හිත හදාගත් මම ඔහුට බෙන්සන් ඇන්ඩ් හෙජස් පැකට්ටුවක් දී බිල ඉල්ලා ගතිමි. සිද්ධිය එතෙකින් අවසන් වනු ඇතැයි මා සිතුවත් ඒ එසේ නොවීය. එක් සති අන්තයක මා අත්තම්මා සමඟ ආ ගිය කතා කියමින් විනෝදයෙන් සිටියදී ' අයියා ' එහි කඩා පැන්නේය.
    ' අපොයි ආච්චි අම්මා තාම මෙයාට රැවටෙනවනේ .. මෙයා පිටකොටුවේ කඩේකින් ඉස්තිරික්කයක් ගෙනල්ලා ආච්චි අම්මට දුන්නා හොංකොංවලින් ගෙනාවයි කියලා .. ඔන්න පුත්‍රයගේ හැටී .. ' යි ඔහු මා පාවා දෙමින් කියත්දී අත්තම්මා ඉනට දෑත් බැඳගෙන ඔහු දෙස බලාගත්වන ම ඔරවන්නට ගත්තේ ඒ කතාව නොරුස්සන්නාක් ලෙසිනි.
    ' මොකක් .. ඔය හොංකොං කොං කොං කතාවක් මෙතන නෑනේ ... මේ ළමයා මට කිව්වේ නෑ ඉස්තිරික්කය කොහෙන් ගෙනාවද කියලා .. අනික මේ ළමයා පිටරට ගියේ වැදගත් වැඩකට නේ .. මමත් කිව්වේ නෑනේ මට පිටරටින් ඉස්තිරික්කයක් ගෙන්න කියලා .. කොහෙන් ගෙනාවත් ඒක නං හරි අපූරූ ඉස්තිරික්කේ .. දැං ඉතිං මට කරදරයක් නැතිව සිල් රෙදි ටික මැද ගත්තෑකිනේ .. ' යි ඇය කියාගෙන කියාගෙන යත්දී ' අයියා ' වාෂ්ප වී ගියේය. අපේ අත්තම්මාගේ හැටි එහෙමය.
    අපේ අත්තම්මාව මට තවමත් හරිහැටි තේරුම් ගැනීමට නොහැකි බැව් ඇත්තකි. එහෙත් මේ සිද්ධිය මතක්වන වාරයක් වාරයක් පාසාම මට සිහිපත් වන්නේ ' අයියාට ' අල්ලස් ලෙස දුන් බෙන්සන් ඇන්ඩ් හෙජස් පැකට්ටුව ගැනය.

    - කේ.සී.ජේ. රත්නායක

    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: අත්තම්මා Rating: 5 Reviewed By: NT
    Scroll to Top