728x90 AdSpace

  • නවතම පුවත්

    Friday, July 7, 2017

    බලි රූපෙට රාජ්‍ය සම්මානයක් !


    කලටුවාවේ රූපෙනිස් හෙවත් ' බලි රූපේ ' වැඩි කතාබහක් නැති ඕනෑම කෙනෙකුට හිස නවන ගොහොදු බයාදු නිවටයකු ලෙස මතුපිටින් පෙන්නුම් කළත් ඔහු කොයිකටත් හොඳ වැඩකාරයකු බව දන්නේ ඔහුගේ සමීපතමයන් පමණි.ලෙහෙසියෙන් පහසුවෙන් කෙනෙකුට කළ නොහැකි බලි රූප ඇඹිම සහ යකුන් පන්නන යාතුකර්මයන්වලදී නම් ඔහු දැවැන්තයකු විය. එවැනි විටෙක ඔහු කාගේත් ගුරුන්නාන්සේ ය. අර සාමාන්‍ය ජීවිතයේදී පෙන්වන අහිංසක රූපේනිස් හෙවත් ලොකු කුඩා කවුරුත් ගරුසරුවක් නැතිව ඔහු හඳුන්වන ' බලි රූපේ ' චරිතය වෙනුවට යාතු කර්මයක බලි ඇදුරා ලෙස ක්‍රියාකරන විට ඔහු වෙතින් පළ කෙරෙන්නේ මහසෝනා බඳු රෞද්‍ර විලාසයක් යැයි ඇතැමෙක් කියති. එවැනි විටෙක ඔහුගේ විධානයට අවනත නොවන ඕනෑම බලවතකුට ' ගෙරි බල්ලා .. ' යන්නෙන් පටන් ගෙන ඇඳීවත් ලෙහී වැටෙන ලෙස අම්මා මෝ නැතිව බැණ වැදීමට රූපේනිස් ගුරුන්නාන්සේ දෙවරක් සිතන්නේ නැත. සාමාන්‍යයෙන් ගමනේ බිමනේදී තුන්කුදු ගැසී කම්බි ලේන්සුව කරේ දමාගෙන මුහුණ බිමට ඇල කැරගෙන යන ඔහු ඇතැම් යාතු කර්මයකදී ගිනි පන්දම කටේ රුවාගෙන තුන් පිම්ම් පැන කරණම් ගසා අඩව් අල්ලන්නේ බලා සිටිනවුන්ගේ ඇඟේ ලේ ගල් කරමිනි. ඊට අමතරව පිරිත් පිංකමකදී මණ්ඩපය සෑදීමටත් ගම්මඩු යාගයටත් හත් අඩිය කැපීමටත් පමණක් නොව ගමේ කාගේ හෝ උපතේ සිට විපත දක්වා වූ ඕනෑම වැඩකට ' බලි රූපේ ' නැතිවම බැරි චරිතයක් විය.
    කාටත් නැතිවම බැරි චරිතයක් වූවත් ඔහුට තම ගමෙන් නම් ලැබුණේ කුලහීනයකු ලෙස හිඳ ගැනීමට පුටුව නොව බංකු කොටේ දෙන පිළිගැනීමකි. එවැනි විටෙක ' අනේ ඔන්නොහේ කමක් නෑ .. හාමිනේ ' යි කියන හෙතෙම හිටගෙනම කතා කරයි. කිසිවකු විසින් තමාට මදි පුංචි කමක් කරනු ලැබීයැයි හැඟී ගිය ඕනෑම අවස්ථාවක රූපේනිස් 'අනේ ඔන්නොහේ කමක් නෑ' යි කීවේය.කාලය මෙසේ ගෙවී යත්දී ප්‍රදේශය භාරව තරුණ උප දිසාපතිවරයකු පැමිණි අතර ඔහු නිතර නිතර ගම් තුලානේ ඇවිදිමින් එහි වූ පරිසරයේ මිහිරියාව විඳිමින් ගැමියන්ගේ රසකතාවලට සවන් දීමට ඇබ්බැහි විය. ඔය අතර ' බලි රූපේ ' පිළිබඳව අසන්නට ලැබී ඔහු සොයා ගිය අතර රූපේනිස්ගේ බලි රූප ඇඹිමේ විස්මිත හැකියාව සියැසින් ම දුටු උප දිසාපතිවරයා මවිතයට පත්විය. මෙවර ගම්මඩු යාගය හොඳ කලඑළියට කළ යුතු බැව් කී හෙතෙම ඊට තමාගේ උපරිම සහයෝගය දෙන බවටත් රූපේනිස්ට පොරොන්දු විය.
    ගම්මඩු යාගය පැවැත්වීමට දින කිහිපයක් තිබියදී උප දිසාපතිවරයා ගම් තුලානට පැමිණියේ විශේෂ අමුත්තකු සමගිනි. තැනින් තැනට ගෙන යා හැකි පාද තුනේ අට්ටාලයක් සහ ලොකු වෑර්ලස් රේඩියෝවක් බදු පෙට්ටියක් කරමත තබා ගත් එකී අමුත්තා නම් අඩි හයයි හයේ උස පත සිරුරකින් යුතු වූ ඉංග්‍රීසි ජාතිකයෙක් විය. අට්ටාලය සහ පෙට්ටිය රූපේනිස්ගේ ගෙයි මිදුලේ සවිකළ සුද්දා එතැන් සිට බලි රූප ඇඹිමේ අවස්ථාවේ සිට ගම්මඩු යාගය කෙරෙන ආකාරය දක්වා වූ සියලු ජවනිකා අර අට්ටාල පෙට්ටියෙන් රූපගත කෙළේ ය. ඔය අතරතුර මධ්‍යම රාත්‍රියේදී ගම්මඩු යාගයේ උච්චතම අවස්ථාව එන්නට පෙර අනෙක් නැට්ටුවන්ට අඩුව පුරවන්නට ඉඩ දී මද විවේකයක් ගෙන වෙස් මාරු කිරීම සඳහා රූපේනිස් මඩුව තුළට ගොස් මිනිත්තු දහයකින් පමණ පසු සෙනඟ නො ගැවසෙන කළුවර පැත්තෙන් එළියට බැස්සේ සිරුරේ බර හෑල්ලු කැර ගැනීමටය. එහෙත් එක්වර ම තමාට පියවර කිහිපයක් නුදුරින් උසට උසේ කටින් ගින්දර සහ දුම් පිට කරමින් අඳුරේ සෙලවෙන දැවැන්ත අවතාරය සියැසින් ම දුටු රූපේනිස්ගේ සියොළඟ කිළිපොලා ගියේය. ඕනෑම යකෙකු පන්නන මන්තර කස්තිරම් දැන සිටියත් මෙතරම් සමීපයෙන් හැබැහින් ම එබඳු අමනුස්සයකු මීට පෙර කිසි දිනෙක රූපේනිස් විසින් දකිනු ලැබ තිබුණේ නැත. ආපස්සට හැරී දුවන්නට ගියොත් මේ අමනුස්සයා තමාගේ බොටුව මිරිකා දිවි තොර කරනු ඇත. කළ යුතු එකම දෙය නම් තිත්ත කුණු හබ්බෙන් බැණ වැදී කටින් බය කොට යකා පන්නා ගැනීම යැයි සැණෙකින් තීන්දු කළ රූපේනිස් ' ඈ බොල ගෙරි බලු...' යනුවෙන් පටන් ගෙන මහ හඬින් අමු කුණු හරුප වැලක් කියා ගෙන යත්දී මෙතෙක් කටින් ගින්දර සහ දුම් පිට කරමින් සිටි අමනුස්ස රූපයේ හිස එක්වරම අතුරුදන්ව ගොස් හිස නැති කඳ පමණක් සෙලවෙන්නට විය. ඒ හිස නැති කඳ සහිත අවතාරය කෙමෙන් කෙමෙන් තමා දෙසට සමීප වෙනවාක් මෙන් දුටු රූපේනිස් ඇඳීවතේම සුළු දිය බේරමින් සිහි මූර්ජා වී බිම ඇද වැටිණ. මෙය නම් ගම්මඩු යාගයේ කොටසක් නොවන බැව් වහා අවබෝධ කැර ගත් උස පත සිරුරින් යුත් සුද්දා මෙතෙක් අඳුරු වන ලැහැබේ සිටිමින් රූපේනිස්ගේ ක්‍රියාවන් නිරීක්ෂණය කිරීමේ කටයුත්ත නවතා දමා සිහිසුන්ව බිම ඇද වැටී වුන් ඔහුගේ සිරුර ඔසවා ගෙන ගම්මඩු යාගය මැදට දිව ගියේය.
    පසුදින දහවල් කාලයේදී රූපේනිස් පියවි සිහියට පත් වූ අතර ඒ වනවිට ඔහු සමීපයේ වුන්නේ ගෝලයා පමණි. ' හයියෝ ගුරුන්නාන්සේ බයවෙලා තිබුණේ අර සුද්දට නේ ... ඒ යකා සිගරට් එකක් බොන්න ඒ වෙලාවෙ මඩුව පිටි පස්සට ගිහින් ඉඳලා තියෙන්නේ .. ඌ මොකද්ද මන්දා පිටරටක මහාචාරිය කෙනෙක් ලු. ' යි ගෝලයා කී අතර ඒ සමඟ ම රූපේනිස් ද කතා කරන්නට විය. ' බොට පිස්සුද ..සුද්දා මොකාද යකා මොකාද කියලා මට අඳුර ගන්න බැහැයි කියලා හිතුවද බොල .. ' යි ඔහු බෙරිහන් දුන්නේ ය. ' ඉතිං ඒ වුණාට ගුරුන්නාන්සේව කරේ තියාගෙන උස්සන් ආවේ ඒ සුද්දනේ .. ' යි ගෝලයා ද එකටෙක කීවේය. ' ඉතිං ඒක හරි වෙන්න පුළුවන් යකෝ .. ඌත් ඔය කොහේ හරි මුල්ලක ඉන්නැති නමුත් මං දැක්කේ මහසෝන් දෙයියංගේ නපුරුම අවතාරය ඒකනේ මට බේරෙන්න බැරි වුණේ .. මදෑ මේ තරමිං වත් ගැලවුණා .. ' යි ඔහු විශ්වසනීය හඬින් කීවේය.
    ' අනේ මන්දා ඉතිං .. ඒජන්ත මහත්තයා හිතා ඉඳලා තියෙන්නේ ගුරුන්නාන්සෙට ආණ්ඩුවෙන් සම්මානයක් අරන් දෙන්නලු .. මේ වැඩෙන් ඒකත් හබක් වුණා නේ .. ' යි ගෝලයා දුක්මුසුව කීවේය.
    ' අනේ ඔන්නොහේ කමක් නෑ .. බං ! ' යි රූපේනිස් කීවේය.

    -කේ.සී.ජේ.රත්නායක

    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: බලි රූපෙට රාජ්‍ය සම්මානයක් ! Rating: 5 Reviewed By: NT
    Scroll to Top