728x90 AdSpace

  • නවතම පුවත්

    Wednesday, September 27, 2017

    කළු දවස් 13 අද සිට සක්‍රීය වෙයි


    සැප්තැම්බර් 27-28-29-30- ඔක්තෝබර් 01-02-03-04-05-06-07-08-09-10 - ජලය සහ සුළඟ වියරු වැටෙයි 



    (Interview with Ada Newspaper 27.09.2017)
    # මීට මාස දෙකකට පමණ පෙර සහ ඉන් පසුවත් ඔබ වරින්වර ප්‍රකාශ කළා සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 10 දක්වා ආසියාවට සහ යුරෝපයට කළු දවස් 13 ක් උදාවෙනවාය කියලා. අද සැප්තැම්බර් 27 යි. ඒ අනුව අද සිට නේද ඒ කළු දවස් ආරම්භ වෙන්නේ. ?
    - ඔව්. පහුගිය ජූලී මාසයේදී තමා මම ඔය කළු දවස් 13 ගැන මුලින්ම කිව්වේ. ඔබට මතක ඇති අගෝස්තු 07 දා අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවුණා. මේ ග්‍රහණ භූමියට ආසියාව සහ යුරෝපයත් ඉන්දීය සහ අත්ලාන්තික් සාගරයත් ඍජුවම ගොදුරු වුණා. ඊට අමතරව කැරිබියන් දූපත් සහ උතුරු අප්‍රිකානු රටවල් ගණනාවකටත් බලපෑමක් සිදුවුණා. ඒ පුරෝකතන ලිපියෙන් කීවා වගේම අමෙරිකාව කැරිබියන් දූපත් වගේම ඉන්දියාව බංග්ලාදේශය සහ චීනය මහා වර්ෂාපතනයකට සහ ජල ගැලීම් නාය යෑම් වැනි ජලය ආශ්‍රිත විපත්වලට මුහුණ දුන්නා. ලෝකායතන ජ්‍යොතිෂය අනුව ඒ තමා අගෝස්තු 07 චන්ද්‍රග්‍රහණයේ ආසන්න සහ වක්‍ර බලපෑම. නමුත් එම ග්‍රහණය සිදු වූ රාශිය නක්ෂත්‍ර ශක්ති කලාපය සහ ග්‍රහණයට ගත වූ කාලය අවස්ථා පහකට මා එදා බෙදා වෙන්කොට විග්‍රහ කළා. ඒ අවස්ථා පහ අනුව වරින්වර ජල විපත් මතුකළා. නමුත් ඒ ගණනය කිරීමේදී ග්‍රහණ බලපෑමේ උච්ච අවස්ථාව යෙදී තිබුණේ සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 10 දක්වා එන කාලයටයි. ඒ අනුව කළු දවස් 13 අද සිට සක්‍රීය විය යුතුයි.
    # ඔය ඉදිරියට එන කාලය කළු දවස් 13 ක් හැටියට නම් කෙළේ ඇයි ?
    - ඒකට හේතු දෙකක් තියෙනවා. ඔය දවස් දහතුනේදී අහස අන්ධකාර කළු වළාකුළුවලින් වැසී යනවා. දෙවැනි හේතුව වෙන්නේ ආසියාව යුරෝපය ඉන්දීය සාගරය සහ අත්ලාන්තික් සාගරය වගේම ලෝකයේ තවත් භූමි ප්‍රදේශ ගණනාවක් ආශ්‍රිතව අහස මහපොළොව සහ ගංගා ජලාශ සමුදුරු කියන තුන් තැනම දැඩි අවදානමකට ගොදුරු වෙනවා. උඩින් ගියත් බිමින් ගියත් ජලය මතින් ගියත් බිහිසුණු විපත් බහුල කාලයක්. අන්න ඒ නිසා තමා සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 10 දක්වා කාලය කළු දවස් දහතුනක් කියලා නම් කෙළේ.
    # ඔය දවස් දහතුනේදී මොන වගේ විපත්ද සිදුවෙන්නේ ?
    - ධාරානිපාත මහ වර්ෂාව චණ්ඩ මාරුත සාගරය පතුලේ සහ සාගර දියමත හට ගන්නා දරුණු කැළඹීම් ගොඩබිම ජලාශ සහ මහ පරිමාණ ඉදිකිරීම් ආශ්‍රිත විපත් තමා බහුලව පෙන්නුම් කරන්නේ. තව විදිහකට කිව්වොත් ටොලමියානු සූත්‍රවලින් එක එල්ලේ නිවේදනය කරන්නේ ජලය ආශ්‍රිත විපත්. ඒ අනුව අපට පෙනෙනවා මේ බොහෝ විපත්වලට මුල් වෙන්නේ ජලය බව. දෙවනුව වායුව තෙවනුව පොළොව. ඔය දවස් දහතුනේදී ඇද හැලෙන අධික වර්ෂාව මහ පොළොවට දරා ගන්න බෑ. ඊ ළඟට පෙන්වන දේ තමා ටොලමියානු විශ්ව කේන්දරයේ වායු රාශී ත්‍රිත්වයම ඔය කාලයේදී අසාමාන්‍ය විදිහට උත්තේජනය වෙනවා. එහි ප්‍රතිඵලය තමා චණ්ඩ මාරුත. තුන්වැනිව පඨවි රාශී තුනෙන් දෙකක්ම දුර්වල තත්ත්වයකට පත්වෙනවා. එහි ප්‍රතිඵලය වෙන්නේ මහ පොළොව අස්ථායි තත්ත්වයකට පත්වීම. මේක හරියට ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ ඛේදවාචකයක්. ජලශක්ති කලාප කොයි තරම් වේගයෙන් උත්තේජනය වුණත් ඊට සාපේක්ෂව පඨවි ශක්ති කලාප ස්ථාවරව තිබෙනවා නම් මහපොළොවට හානියක් නෑ. නමුත් මේ දවස් දහතුනේදී පඨවි ශක්ති කලාප ඉතා දුබල තත්ත්වයකයි තියෙන්නේ. ඒක එහෙම වෙත්දී අසාමාන්‍ය වර්ෂාවක් ඇද හැලෙන්න ගත්තම මොකද වෙන්නේ. අනිත් පැත්තෙන් පඨවි ශක්තියට පරම සතුරු වායූ ශක්ති කලාප තුනම අධි චලනයට පත්වෙනවා. මේ නිසා මහපොළොව අන්ත අසරණ වෙනවා. මහ පොළොවේ ගිලා බැසීම් පිපිරීම් කඳු කඩාවැටීම් විතරක් නෙවෙයි මහ පරිමාණ ජලාශ සහ උස් මහල් ඉදිකිරීම් පවා අවදානම් තත්ත්වයකට පත්වෙනවා. ඔබ හොඳට නිරීක්ෂණය කරන්න ලෝකයේ බොහෝ ප්‍රදේශවල වැසි නොවැටෙන තැන්වල පවා භූගත ජල පරිමාව අසාමාන්‍ය විදිහට ඉහළ නගිනවා. ඒ කියන්නේ උල්පත් ජලය පිටාර ගලන්න ගන්නවා. වර්ෂාව සහ ජලය සම්පතක්. නමුත් මේ වර්ෂාව සහ ජලය විසින් ඇති කරන්නේ විපත් විතරයි.
    # ශ්‍රී ලංකාවට මෙයින් ඇති කරන්නේ මොන වගේ බලපෑමක්ද ?
    - අපේ රටටත් මේ දවස් දහතුනේදී බලපෑමක් සිදුවෙනවා. මොකද ග්‍රහණය සිදුවුණේ කටක සහ මකර රාශී දෙක අතරයි. ඒ කියන්නේ ශ්‍රී ලංකා කේන්දරයෙන් 06 සහ 12 වැන්න තමා පීඩාවට ලක්වුණේ. අපේ රටේ භූමියට සහ වෙරළබඩ සීමාවෙන් ඔබ්බටත් දරුණු වර්ෂාපතනය - සැඩ සුළං - සහ රට අභ්‍යන්තරයේ කඳුකරයේ නාය යෑම් වගේම ජලාශ සහ උස් මහල් ගොඩනැගිලිවලට අවදානමක් මතුවෙන්න ඉඩ තියෙනවා. මේ නිසා දැන් සිටම ඊට සූදානම්ව සිටීම වැදගත්. සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 10 දක්වා දින 13 ගැන අඩුවෙන් තක්සේරු කිරීම නොකළ යුතුයි. විශේෂයෙන්ම මහ පොළොවේ ගිලා බැසීම් සහ පිපිරීම් අපේක්ෂා කළ යුතුව තියෙනවා. අර මුලින් කිව්වා වගේම ජලය සුළඟ සහ මහපොළොව කියන තුන් තැනින්ම අපේ රටටත් විපත් මතුවෙන කාලයක්.
    # ඔය දවස් 13 එක දිගටම අනතුරුදායකද නැතිනම් ඒ කාලය තුළ අවදානම උග්‍ර වෙන විශේෂ දින තිබෙනවාද ?
    - සමස්තයක් හැටියට ගත්තම සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 10 දක්වා වූ කාලයම අවදානම් සහගතයි. ඒ අතරින් දැඩි අවදානම් දින කිහිපයක් නම් කරන්න පුළුවන්. ඒ එක්කම ටොලමියානු ලෝකායතන ජ්‍යොතිෂයේ අප්‍රකට සිද්ධාන්තයක් අවබෝධ කර ගන්නත් ජ්‍යොතිෂ විද්‍යාර්ථීන්ට අවස්ථාව ලැබෙනවා. ඔබ දන්නවා අගෝස්තු 07 චන්ද්‍රග්‍රහණය සිදුවුණේ මකර රාශියේ අංශක 23.20 දීයි. දැන් බලන්න ඔක්තෝබර් 01 දා සවස්භාගයේදී සඳු අන්න ඒ අංශකයටම එනවා. මෙන්න මේ අවස්ථාව ඉතාම තීරණාත්මකයි. ග්‍රහණයේ බලපෑම් සීමාවේ උච්චතම අවස්ථාව සහ ග්‍රහණයට ලක්වූ සඳු එකී අංශකයටම එන අවස්ථාව කියන දෙකම එකට යෙදෙන්නේ ඉතා කලාතුරකින් පමණයි. ඒත් ඒකෙන් නිවේදනය වෙන පණිවිඩය නම් සුබදායක නෑ. මොකද මේක ලෝකයටම අමතක නොවන දරුණු ස්වභාවික විපත් සමයක් බව ටොලමියානු සූත්‍ර මගින් පෙන්නුම් කරනවා. 

    - කේ.සී.ජේ.රත්නායක

    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: කළු දවස් 13 අද සිට සක්‍රීය වෙයි Rating: 5 Reviewed By: NT
    Scroll to Top