728x90 AdSpace

  • නවතම පුවත්

    Friday, May 11, 2018

    කතළුවේ නාරී රූපේ ....!

    කලකට පෙර එක් සිකුරාදා දිනයෙක උදේ රැයින්ම ලක ලෑස්ති වූ ලසන්ත රාමනායක තරමක් නොරිස්සුමට පත්ව දෙවැනි මහලේ බැල්කනියේ ඒ මේ අත ඇවිදිමින් වුන්නේ තම රියදුරා වූ යසපාල කොයි මොහොතක තම ඇස් ඉදිරියේ පෙනී සිටීද යන මැඩගත් කෝපයෙනි. උදේ හතට එන්නැයි කීවොත් යසපාල නොවැරදීම අටහමාර පසුවන්නට ඔන්න මෙන්න කියා තිබියදී කඩාගෙන බිඳගෙන හති දාගෙන දුවගෙන එන්නේ පමාවට හේතු ලෙස මොකක් හෝ අටම් පහුරු කතාවක් ගොතා ගෙනය. 

    යම් හෙයකින් උදේ නවයට දහයට එන්නැයි කීවොත් ඔහු බිම් කළුවරත් සමඟ පාන්දරින්ම පැමිණ වාහනයේ නලාව හඬවයි. වේලාව පමණක් නොව වම දකුණ වරද්දා ගැනීම ද යසපාලගේ ආවේණික පුරුද්දකි. එහෙත් යසපාල ඉතා හිතෛෂී විශ්වාසවන්ත රියදුරකු වූ හෙයින් තම බිරිඳගේ නොමනාපය පවා නොතකමින් ලසන්ත විසින් සෑම විටෙකම යසපාලව රැක ගනු ලැබිණ. මේ රියදුරා ඕනෑම දුෂ්කර අවදානම් මාර්ගයක් ඔස්සේ වුව රෑ දහවල් නොබලා කිසිදු කං කෙඳිරියක් නොනගා රිය ධාවනය කරනවා පමණක් නොව ඔහු බොහෝ විට ලසන්තගේ සුඛ විහරණය සහ ආරක්ෂාව ගැන අවංක හැඟීමෙන් කටයුතු කෙළේය. 

    එහෙත් පාර තොටේ කොයි තැනකින් හෝ මනා අඟ පසඟ ඇති රූබර මහිලා රුවක් මතුවුවහොත් කරන්ට් වැදුණාක් මෙන් යසපාල නළියන්නට ගන්නේ ඔහුටම ආවේණික අධි සංවේදක සංඥා පද්ධතියක් හදිසියේ ක්‍රියාත්මක වූ ලෙසිනි. එවිට ඔහුට සුක්කානම පවා අමතක වෙයි. මේ නොමනා ඇබ්බැහිය නිසා කිහිප විටක්ම ඔහු දෝස්මුරයට ලක්විය. 

    ' අයිසේ යසපාල ... ඔය මගට මුණ ගැහෙන හැම ගෑනු පරාණයකටම අයිතිකාරයෙක් බාරකාරයෙක් ඉන්නවනේ ... තමුසේ මොකද මේ අනුන්ගේ ගෑනුන්ගේ ඇඟවල්වල උස දිග පළල මනින්න හදන්නේ .. අනිත් එක ලස්සන ගෑනියෙක් දැක්කම අර වෙසක් තොරණ බලනව වගේ කට ඇරගෙන බලන්න එපා ... මනුස්සයෝ ! ..තමුසේ බලන බැලිල්ලට ඒ ගෑනුංගේ රෙදි ගැලවෙනවනේ ඕයි ..! ' යි ලසන්ත ඔහුට බැණ වදින හැම විටම යසපාල ද අපූරු පිළිතුරු දෙයි. 

    ' අපොයි මහත්තයා .... මම නං ඔය ගෑනු දිහා බැලුවෙ නෑ ... බලන්නෙත් නෑ ... මට ඔවුං නං ඕනෙම නෑ .. ගෑනු කියන්නේ පව්කාරකමට උපන් ජාතියක් .. එවුංව කර ගහන්නෙත් කරුම ගෙවන්න තියෙනව නං තමා ඉතිං .. ' යි කියන යසපාලගේ පිළිතුර තුළ සියුම් ඇණුම් පදයක් ද ඇති බැව් ලසන්තට වැටහෙයි. එවිට ඔහුගේ කෝපය උග්‍ර වෙයි. ' ආ එහෙමද ... එහෙනං තමුසේ අනුන්ගේ කරුම ඇඟට ගන්නැතුව වාහනය එලවනවකෝ පරිස්සමට ... "

    කොළඹ සිට ගාලු පාර ඔස්සේ ධාවනය වූ මෝටර් රිය කතළුවේදී නතර කෙරුණේ දිවා ආහාරය සඳහා ය. මුහුදට මුහුණ ලා තිබූ ආපන ශාලාවේ කෙළවරක වූ මේසයක් තෝරාගත් ලසන්ත තම රියදුරු යසපාලවත් කැඳවා ගත්තේය. එවැනි අවස්ථාවක කිසි දිනෙක ලසන්ත සමඟ එක එල්ලේ මුහුණට මුහුණ ලා අංශක 180 ට අසුන් නොගන්නා යසපාල කෑම මේසයේදී පුරුද්දක් ලෙසම ලසන්තගේ අසුනට පැත්තකින් අංශක 90 කෝණයට අසුන් ගත්තේය. 

    ඔවුන් දෙදෙනා ආහාර ගනිමින් සිටියදී මුහුදු සුළගට සහ කාෂ්ටක ගිනි අව්වට කාලයක් පුරා නිරාවරණය වීම නිසා හිස කෙස් තඹ පැහැයට සහ සම අඳුරු කාල වර්ණයට දුර්වර්ණ වූ කොලු ගැටයකු සමග ආසියානු යුරෝපීය දෙමුහුන් පෙනුමකින් යුත් විදෙස් කාන්තාවක් ආපන ශාලාවට පැමිණියේය. ඇය වෙතින් බොහෝ සෙයින්ම පළ කෙරුණේ දකුණු ආසියානු රටක පියකුට සහ නැගෙනහිර යුරෝපීය රටක මවකට දාව උපන් තැනැත්තියක බඳු පෙනුමකි. 

    දෙවටොර දක්වා කෙටි වූ විසිතුරු දම් පැහැති සරුවාලයකින් ඇගේ යටිකය ආවරණය වී තිබූ අතර ලැම පමණක් යාන්තමින් ආවරණය කෙරුණු දීප්තිමත් සුදු පැහැයෙන් යුත් අමුතු ජැක්ට්ටුවක් දෙවුර අතරින් පහළට එල්ලා වැටෙමින් තිබිණ. දකුණු අප්‍රිකානු ගෝත්‍රික ස්ත්‍රීන් මෙන් විසිතුරු පබලු ඇට මාල හත අටක් ඇගේ ගෙල වටා එතී තිබු අතර නාසය සහ ඇහි බැමි සිදුරු කොට ඇඟ මසට සවිකළ උල් හැඩැති ලෝහ කූරු රිදී පැහැයෙන් දිස්නය දුන්නේය. 

    ඇගේ වමත් බාහුවේ විශාල ගරුඬ රූපයක් පච්ච කොටා තිබිණ. ඒ දුටු ලසන්තගේ මුහුණ ක්ෂණයකින් මස්පිඩු නැටවී අඳුරු වී ගියේය. ඔහුට මහත් අපහසුතාවක් දැනෙන්නට විය. එවිටම ඇය මෙතෙක් සිටි ඉරියව්ව වෙනස් කොට සමීප රූපයක් ලෙස පෙනී සිටි අතර ඒ සමගම ඇගේ දණහිස සහ කලවා අතර නිල් සහ රතු වර්ණයෙන් පච්ච කොටා තිබූ යෝධ ගරුඬ රූපය එක එල්ලේ ලසන්තගේ දෙනෙත් අතරට කඩා පැන්නේය. 

    ඔහුට ඔක්කාරයට එන්නාක් බඳු පිළිකුලක් දැනෙන්නට ගත්තේය. කෑම පිඟාන ඇගිලි තුඩුවලින් ඉවතට තල්ලු කළ හෙතෙම උණ රෝගියකු මෙන් බර වූ හිසින් යුතුව වටපිට බලන විට මුවගට සිහින් සරදම් සිනහවක් නගා ගෙන තමා දෙසම බලා සිටින යසපාලව දුටුවේය. එයින් හේ සීමාන්තික අසරණභාවයකට තල්ලු කෙරිණ. ' මහත්තයා මොනවත් කාලා නෑනේ ... එහෙන් මෙහෙන් පහුරු ගාලා විතරයි .. ඔය කෑම එක හරියන්නැත්තං වෙනේකක් ගෙනත් දෙන්නද ..? ' යි යසපාල ඇසුවේ කෘතීම ළෙංගතු මුහුණක් ආරූඨ කැර ගනිමින් වුවත් ඔහුගේ ව්‍යාජ ස්වරය ලසන්තට දැනිණ. ' යසපාලයා නිසැකයෙන්ම තමා කෙරෙහි අවඥාවෙන් සිනාසෙමින් වාඩුව ගන්නට සැරසෙන්නේ යැයි ' ලසන්තගේ සිතට කා වැදිණ.

    ගාලු නගරය පසුකොට වේගයෙන් ඉදිරියට ඇදෙන රථයේ පසුපස දකුණු අන්තයට බර වූ ලසන්ත එහි වීදුරු කවුළුවෙන් ඔබ්බෙහි විටින් විට නෙතට හසුවන හිස් මුහුද දෙස ම බලාගෙන සිටියද ඔහුට මුහුද පෙනුණේ නැත. විසකුරු පිළිකුල් සහගත සර්ප ශ්‍රාවයක් තම සිරුර පුරා තැවරී ඇත්තාක් වැනි ආතුර පීඩනයකින් මිරිකෙන බැව් ඔහුට දැනෙයි. කිසියම් වෘත්තීයමය මානසිකත්වයකට මාරු විය හැකි නම් මේ මළ ඉලව්වෙන් ගැලවිය හැකිය. 

    '"..යසපාලයා ගෑනු සොඩෙකි. අතෘප්තිකර කාමුකත්වයම මිස ඔහුට ඉන් නිදහස්වීමට මෙතෙක් අවස්ථාවක් ලැබී නැත. එහෙයින් පාර තොටේ දකින ඕනෑම ස්ත්‍රි රූපයකින් ඔහු කැළඹීමට පත්වෙයි. නමුත් ඔහු උද්යෝගීමත්‍ ය. උපායශීලීත්වයෙන් පොහොසත් ය. පසුබැස්මක් ඇත්තේම නැත. එහෙත් මේ ජවය පවතින්නේ තමා සොයන වස්තුව සහ අවස්ථාව ලැබෙන තුරු පමණි. ඒ දෙකම විඳ හමාර වූ විගසම ඔහු දිරිබිදී ගිය පරඩැලකි. අනෙක් අතට එහි විලෝමය විය නොහැකිද ? අතෘප්තිකර යසපාලයා තමා මෙතෙක් නොලද වස්තුව සහ අවස්ථාව පිළිබඳ වහලෙකි. ඔහු ව්‍යවහාරික තර්ක ඥානයෙන් ද තමා පිළිබඳ අන්තර් ඥානයෙන් ද තොර උමතු රෝගියෙකි. 

    එහෙත් දැන් පැයකට දෙකකට පෙර එවැනි ආතුරයකුත් තමාට අවඥාවෙන් සරදම් කළා නේද ? එතරම් පහත් අඩියකට වැටෙන්නට නිමිත්ත වූයේ කතළුවේ ආපන ශාලාවේදී දුටු කළවම් ජාන සහිත මළ හොල්මන් ගෑනු රූපය දෙස තමා සීමාව ඉක්මවා බලා සිටි බැව් සහ ඉන් හටගත් අරුචිය අනුව තම ඉරියව් වෙනස් වී ගිය හැටි තමාට සමීපයෙන් අසුන්ගෙන සිටි යසපාලයාගේ අතටම හසු වූ නිසා නොවේද ..? යසපාල අසුන්ගෙන සිටියේ තමා සහ ඔහු අතර අංශක 90 ක කෝණයක් නිරමාණය වන පරිද්දෙනි. 

    එවිට අර ස්ත්‍රී රූපය මෙන්ම ඒ දෙස බලා සිටින තමාගේ මුහුණ ද යන දෙකම එකවර නිරීක්ෂණය කරමින් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරා ගැනීමේ අවස්ථාව යසපාලට ලැබිණ. ' අනුන්ගේ ගෑනු දිහා බලන්නට එපා !' ' යැයි තමා විසින් ඔහුට එරෙහිව කරනු ලබන තරවටුව අසා යසපාලයා මින් ඉදිරියට මහත් විනෝදයක් ලබනු ඇත. ඇත්තටම තමා විසින් දිවා ආහාරයත් අතපසු කරනු ලබමින් එපමණ වේලාවක් තිස්සේ ' කතළුවේ නාරී රූපය ' දෙස ඇදී ගියේ ඇයි ....? anthropology කෙරෙහි පාසල්වියේ සිටම ආශක්ත වී සිටි තමාගේ එකල වීරයා වූයේ ඩෙස්මන් මොරිස් ය. එහෙත් කොමියුනිස්ට්වාදී නෙස්තූර් ඔහුට වඩා තර්කානුකූල ය. 

    එසේ නමුත් කතළුවේ නාරි රූපය වඩාත් සාහිත්‍යමය රසයකින් තේරුම් ගැනීමට නම් ඩෙස්මන් මොරිස් හැර අන් කිසිවකුගේ ඉගැන්වීමක් සිහියට නොනැගෙයි. වානර පවුලේ ස්ත්‍රියගේ සරු කාලය එනවිට ඇගේ ප්‍රජනක ප්‍රදේශය තද රතු පැහැයට හෝ තද නිල් පැහැයට හැරෙයි. ඒ වනාහී විරුද්ධ ලිංගිකයාට සංඥාවකි. වෙනත් ස්ත්‍රි සතුන් නම් ඒ සඳහා පෙරමෝන ශ්‍රාවයෙන් පණිවිඩ නිකුත් කරයි. එහෙත් දියුණු මිනිස් ස්ත්‍රියට ඒ ස්වභාවික සංඥා දෙකම අහිමි වී ගොසිනි. එහෙයින් වනාන්තරයෙන් ඈත්වන තරමට අග්‍රේශයන් ඒ සඳහා කෘතීම ක්‍රම භාවිතයට ගත්තේය. 

    ඒ අනුව ස්ත්‍රිය කොළ අතු යනාදියෙන් තම ප්‍රජනක ඉන්ද්‍රියයන් පමණක් වසා ගත්තේ විරුද්ධ ලිංගිකයාට සංඥා කිරීමටය. මොකද නිරාවරණ වූ දෙයට වඩා වසා ඇති දේ කෙරෙහි මිනිස් කුහුල සහ ආකර්ෂණය තීව්‍ර වන හෙයිනි. එහෙම නම් මිනිහා මුලින්ම කොළ අතු ඇන්දේ විළි වසා ගැනීමට නොව විළි ඇති තැන් කෙරෙහි විරුද්ධ ලිංගිකයාගේ අවධානය දිනා ගැනීමට ය. නොදියුණු ගෝත්‍රිකයන් නොයෙක් වර්ණවලින් සිරුර සායම් කෙළේත් විසකුරු සතුන් සහිත රූප සම මත පච්ච කොටා ගත්තේද නහය කන දෙබැම ආදිය සිදුරු කොට ලෝහ කූරූ පැළද ගත්තේද විශේෂයෙන්ම ප්‍රජනක ප්‍රදේශය පමණක් වසා ගත්තේද අන් කිසිවක් පිණිස නොව විරුද්ධ ලිංගිකයාගේ ආකර්ෂණය දිනා ගැනීමට බැව් ඩෙස්මන් මොරිස් කියයි. 

    එසේ නම් කතළුවේ නාරි රූපය යනුද එවැනි ගෝත්‍රික අවතාරයකි. ඇගේ වම් බාහුවේ සහ කලවයේ වූ යෝධ ගරුඩ පච්චය ඒ ගෝත්‍රික පුරුද්දේ නූතන වේශයකි. තමාගේ නෙත් සිත් ඈ කෙරෙහි ඇදී ගියේ ඈ පිළිබඳව හටගත් රාගික වශීයකින් නොව අර නුහුරු පිළිකුල් සහගත නුරුස්සන හැඟීම් නිසාය. මොකද මිනිසුන් තමාට අරුචි දෙයක් වුව අභිරුචියෙන් බැලීමේ පරස්පර විරෝධී රසයෙන් යුතුවන හෙයිනි. ..."

    දැන් ලසන්තට අපූරූ සහනයක් දැනෙයි. එහෙත් මේ කිසිවක් කීවාට යසපාල වැනි මෝඩයකුට තේරුම්ගත නොහැකිවනු ඇත. ඔහු කෙසේ තමා ගැන සිතුවත් දැන් තමාට තමා ගැන විශ්වාසයක් තිබේ. ඒ හොඳටම ප්‍රමාණවත් ය. හැම විටම වෘත්තීය මානසිකත්වයකින් සිතුවොත් ඕනෑම සිත් කළකිරවන හැඟීමකින් යථාවබෝධය ලැබිය හැකි නොවේ දැයි ඔහුට පසක් විය. එහෙත් ඒ සංහිඳියාව පුපුරවා හරිමින් ඔහුගේ සිත පතුලේ සුනාමියක් හට ගත්තේය. 

    තමාට අරුචි දෙයක් දෙස වුව මිනිසුන් වුවමනාවෙන් බලා සිටින්නට නම් ඒ සඳහා අභිරුචියක් තිබිය යුතුය. අර කතළුවේ නාරි රූපය ගෝත්‍රික අවතාරයක් නම් මොහොතකට හෝ තමා ඊට වශී වූයේ ඇයි ...? එසේ නම් තමා තුළ ද සැඟවුණු ගෝත්‍රිකයෙක් සිටිය යුතු නොවේද ...?' 

    කරකවා අතහැරියාක් මෙන් හිස තෝන්තුවාවට පත්ව සිටි ලසන්ත යසපාල දෙස බලා කෑ ගැසුවේය.
    ' ටිකක් හෙමිහිට යමු අයිසේ ... පිස්සෙක් වගේ වාහනේ එලවන්නෙපා... ! ' 

    - කේ.සී.ජේ.රත්නායක

    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: කතළුවේ නාරී රූපේ ....! Rating: 5 Reviewed By: NT
    Scroll to Top