728x90 AdSpace

  • නවතම පුවත්

    Thursday, October 5, 2017

    කිත්සිරි දුටු සිව්මානයේ සමාන්තර සිහින !

    කිත්සිරි වීරසේකර කල්මුණේ ආගමික මධ්‍යස්ථානයක සේවය කරමින් සිටි තිස් හතර හැවිරිදි අවිවාහකයකු විය. අල්පේච්ජතාව බ්‍රහ්ම චර්‍යාව සහ තම ආගමික විශ්වාසය මත පිහිටා ලෞකික ජීවිතයෙන් හුදෙකලා සත්ත්වයකු බවට පරිවර්තනය වී සිටි ඔහු එක් සති අන්තයක කල්මුණේ නගරයේ සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටියදී බසයේ යාබද අසුනේ සිටිමින් තම සිරුර මතට නිදි කිරා වැටෙන්නට වූ හිපි සුද්දියක් නිසා දැඩි නොරිස්සුමට පත්ව සිටි නමුත් ඔහු තම කෝපය පාලනය කැර ගැනීමට උත්සාහ කෙළේය . තවත් සැතපුම් 10 ක් 12 ක් පමණ බස් රථය ඉදිරියට ඇදෙමින් තිබියදී සුද්දිය ඉතා සනීපෙට කිත්සිරිගේ උරහිස මත ගැඹුරු නින්දකට වැටී වුන්නාය.

    එවිට ඇගේ අත්බෑගය ඔහුගේ ඔඩොක්කුව මත කඩා පාත්විය. ' ගෑනී කරේ .. ඒ මදිවට බෑග් එකත් මගේ ඔඩොක්කුවේ ..මේ මොන හෝන්තුවක්ද යකෝ .. ' යි තමාටම මුමුණමින් ඔහු වටපිට බලන්නට වූ විට කොන්දොස්තරගේ සහ කිත්සිරිගේ දෙනෙත් එකිනෙක ගැටුණේ දෙදෙනාම ඒ සඳහා පෙර සූදානමින් සිටියාක් වැනි හැඟීමක් ඇති කරමිනි. එහෙත් ඒ සැණින්ම කොන්දොස්තර විසින් අසංවර ඉඟියක් පළ කරනු ලැබූ හෙයින් ඔහු වහා ඉවත බලා ගත්තේය. ඒ කිසිත් නොදත් සුදු තරුණිය කිත්සිරිගේ සිරුරට තව තවත් ඇලෙමින් ගුලිවෙමින් නිදි සුව සාගරයේ ගැඹුරු පතුලේ කිමිදෙමින් සිටි නිසා කළ හැකි අන් දෙයක් නොවූ තැන ඔහුද බොරුවට නිදි බව අගවමින් දෑස් පියා ගත්තේය. එහෙත් මද වේලාවක් ගතවෙත්දී ඔහුටද නොදැනීම නින්ද ගියේය.

    පදියතලාවත් පළතුරුවැල්ලත් අතර වූ පොලිස් සෝදිසි කිරීමේ මුර කපොල්ලක් අසල බස් රථය නතර කරන විට පවා කිත්සිරි සහ සුදු තරුණිය නින්දේ ගිලී සිටි අතර හැඩි දැඩි රළු අතක ස්පර්ශයෙන් තම උරහිස් සොලවනු ලැබීම නිසා නින්දෙන් පිබිදුණු විට ඔහු දුටුවේ පොලිස් නිලධාරියකු විසින් තමන් දෙදෙනා දෙස රවා ගත් මුහුණින් යුතුව බලා සිටින ආකාරයයි. ' කවුද මේ .... ? ' යන්න තම මහපටැගිල්ල සුදු තරුණිය දෙස යොමු කරමින් පොලිස් නිලධාරියා විසින් හස්ත සංඥවෙන් කිත්සිරි වෙතින් විමසනු ලැබූ අතර ඔහුද තම දෙවුර හකුළවමින් අභිනයෙන්ම ' මං දන්නේ නෑ .. ' යි සංඥා කෙළේය. බසයෙන් බිමට බස්වනු ලැබූ මගීන් සියලු දෙනාගේ ගමන් මලු පමණක් නොව ඔවුන්ගේ සිරුරු පවා පොලීසිය විසින් සෝදිසි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් හිපි තරුණියගේ කලිසම් සාක්කුවේ තිබී මරිජුවානා පැකට්ටුවක් හසුවිය. එහෙත් ඇය නිරුපද්‍රිතව බසයේ තම අසුන වෙත පෙරළා පැමිණියේ කිසිවක් සිදු නොවූ ලෙසිනි. ඇත්තෙන්ම මරිජුවානා පැකට්ටුව හසුවීම පිළිබදව දැන සිටියේ පොලීසිය සහ හිපි තරුණියම පමණි.

    මහියංගනය නගරයට සැතපුම් දෙකහමාරක් පමණ තිබියදී තේ පානය සඳහා බසය නතර කෙරුණු අතර ඒ වනවිට සුද්දිය තැන්පත් විද්වත් පෙනුමක් ආරූඪ කරගත්වනම කකුලක් පිට කකුලක් දමාගත් ඉරියව්වෙන් යුතුව සඟරාවක අකුරු පේලි මත තම දෙනෙත් විහිදුවමින් සිටියා ය. තම අසුනින් නැගිට ගත් කිත්සිරිගේ දෙනෙත් ඉබේටම මෙන් ඇය කියවමින් වුන් සඟරාව වෙත යොමු වූ අතර එය Biblical Archaeology Review අලුත්ම කලාපයේ පිටපතක් බැව් දුටු හෙයින් ඔහු විමතියට පත්විය. සුද්දියගේ හිපි පෙනුම සහ ඇය කියවමින් සිටි සඟරාවේ ස්වභාවය අතර වූ පරතරය වටහාගත නොහැකි කුහුලක් ඔහු තුළ අවුලන්නට සමත් විය. ඉතා පරිස්සමින් ඇගේ දෙදණ සහ තම සිරුර නොගැටෙන ලෙස අසුන ඉදිරිපිට වූ පටු ඉඩකඩ ඔස්සේ සීරූ මාරුවට ගිය කිත්සිරි බසයෙන් බැස ගොස් තේ පානය කරන අතරතුර නිකමට මෙන් බසයේ තමා අසුන්ගෙන වුන් ස්ථානයේ කවුළුව දෙස බැලූ විට ඒ වනවිටත් එහි වුන් සුද්දිය එක එල්ලේම තමා දෙස අවධානයෙන් බලා සිටින අයුරු දුටු හෙයින් ඔහු වහා ඉවත බැලීමට උත්සුක වූ මුත් ඒ වනවිට ඔහු ප්‍රමාද වූවා වැඩි බව පෙන්වමින් ඇය තම තියුණු දෙනෙත් බන්ධනය සැණෙකින් වශීකාරක සිනා ඉනාවක් බවට පෙරළාගෙන ඔහු වෙත ගුප්ත බැල්මක් හෙළූයෙන් කිත්සිරිටද නිරායාසයෙන්ම ඈ සමග සිනාසීමට බල කෙරිණ. එහෙත් ඒ සමඟම ' කොළඹ බස්සෙකේ ආපු කට්ටිය නගින්න .. ' යැයි කොන්දොස්තර විසින් බෙරිහන් දෙන්නට වීම නිසා ඔවුන් දෙදෙනාගේ දෙනෙත් ග්‍රහණය බිඳී ගියේය.

    බැරි මරගාතේ දහඅට වංගුව නගින්නට වූ බස් රථය තම දිගු කෙඳිරිය සහ හතිලෑම සමග දෙපසට වැනෙන්නට වූ හෙයින් විටෙක දකුණට ද විටෙක වමට ද ආසනය මත ලිස්සා ගිය කිත්සිරි සහ සුද්දිය එකිනෙකාට අසුනින් නොවැටී සිටීමට එකිනෙකාගේ සිරුරු එකිනෙකාට වාරුවක් කොට ගත්තේ කිසියම් විනෝදාත්මක ක්‍රීඩාවක යෙදෙන්නාක් මෙනි. ඒ අතරතුර ඔවුන් එකිනෙකා සමග ශරීර භාෂාවෙන් ස්වකීය ආත්මීය සහ මාංශමය අදහස් හුවමාරු කොට ගත් නමුත් දෙදෙනා අතර එකම වචනයක් වත් හුවමාරු වූයේ නැත. ඉඩ ලද සැණින් ඇගෙන් Biblical Archaeology Review සඟරාව පිළිබඳව විමසිය යුතු යැයි මුලදී සිතා සිටියත් කිත්සිරි දහඅට වංගුව නගින අතරතුර වහා තම අදහස වෙනස් කැර ගත්තා පමණක් නොව කිසිවිටෙක ඒ පිළිබඳව ඇගෙන් නො අසන බවටත් තමාටම ප්‍රතිඥා දුන්නේය. කිත්සිරිගේ ඇඳුමේ වූ සියුම් වෙනස් ස්වභාවය සහ ඔහුගේ ඉරියව් වෙතින් පළවූ පුහුණු කළ සංයමය දුටු සැණින් ඔහු කිසියම් ආගමික නිකායක අනුගාමිකයකු දැයි විමසිය යුතු යැයි සුද්දියට සිතී තිබූ නමුත් දහඅට වංගුව නගින අතරතුර ඇය ද තම අදහස වෙනස් කැර ගත්තේ කිසියම් සමාන්තර සිතුවිලි දහරාවකට දෙදෙනාම සමවැදී ගිය බවක් අප්‍රකට කරමිනි.

    හුන්නස්ගිරියට එනවිට සුද්දිය කිත්සිරිගේ උරහිස මත අමන්දානන්දනීය නින්දකට පිවිස දෙව්ලොව සිහින දකිමින් සිටි අතර මාංශයෙන් ද ආත්මයෙන් ද ඈ සමඟ බද්ධ වී සිටි කිත්සිරිට ද එකී සිහිනය එලෙසින්ම පෙනිණ. එතරම් ප්‍රිය නූපදවන මලානික දේව දූත කුමාරයකු සහ රූපශ්‍රීයෙන් විරාජමාන අප්සරාවක ස්වකීය දිව්‍යමය රශ්මි මණ්ඩලය විහිදුවමින් යෝධ වළාකුළු විනිවිද යමින් කදු මුදුන් අතර දුව පනිමින් හැංගි මුත්තං සෙල්ලම් කළෝය. කිත්සිරි ඒ සිහිනය එලෙස දුටු නමුත් සුද්දිය එම සිහිනයම දුටුවේ ඊට තරමක් වෙනස් ලෙසිනි. එහිදී ප්‍රිය නූපදවන මලානික අප්සරාවක සහ රූපශ්‍රීයෙන් විරාජමාන දේව දූත කුමාරයකු ස්වකීය දිව්‍යමය රශ්මි මණ්ඩලය විහිදුවමින් යෝධ වළාකුළු විනිවිද යමින් කදු මුදුන් අතර දුව පනිමින් හැංගි මුත්තං සෙල්ලම් කළෝය. මේ අතර තවත් අමුතු දෙයක් සිදුවිණ. දෙදෙනාම සමාන්තරව එකම සිහිනය දකින බව පමණක් නොව එකම සිහිනයේ කුමාරයා සහ කුමරිය තමාට සාපේක්ෂව ප්‍රතිවිරුද්ධ රූප ලක්ෂණවලින් යුතුව දකින බැව් කිත්සිරිට මෙන්ම සුද්දියටද දැනුණා පමණක් නොව සමාන්තර සිහිනයේ එකිනෙකා වෙනස් ලෙස දුටු රූපද්වය දෙදෙනාටම එක ලෙස පෙනී ගියේය.

    ඒ එසේ විය හැකිද ? එකම විට දෙදෙනාම එකම සිහිනය සමාන්තරව දැකීම පුදුමයක් නමුත් එය කලාතුරකින් වුව විය හැකි දෙයකි. එහෙත් දෙදෙනාම එකම සිහිනය එකවිට දකින බැව් දෙදෙනාටම එකම විට පසක් වන්නේ කෙසේද ? ඊට පිළිතුරක් සිතා ගැනීම දුෂ්කරය එහෙයින් එය අමතක කළත් ඊ ළගට එකම සිහිනයේ දිව්‍යමය කුමාරයා තමා විසින් දකිනු ලබන්නේ ප්‍රිය නූපදවන රූපයක් ලෙසිනි. අනෙක් අතින් සුද්දිය විසින් ඒ සිහිනයේම දිව්‍යමය අප්සරාව දකිනු ලබන්නේ ප්‍රිය නූපදවන රූපයක් ලෙසිනි. ඔව් මේ ඇතැම් විට එකිනෙකා ස්වකීය හීනමානය සිහිනයේ චරිත දෙකට ආරෝපණය කැර ගත් සිතිවිලි මති භ්‍රමයක් විය හැකි යැයි කිත්සිරිට සිතිණ. එහි අනෙක් පස ගත්විට සුද්දිය දකින්නේ රූපයෙන් විරාජමාන කුමාරයෙකි. තමා විසින් දකිනු ලබන්නේ රූපයෙන් විරාජමාන අප්සරාවකි.

    එසේ වන්නේ ඇයි යන්න වටහා ගැනීම පහසුය. සැම විටම අනෙකාගෙන් උසස්ම දේ අපේක්ෂා කිරීම සාමාන්‍ය ස්වභාවයකි. එහෙත් ඒ රූප දෙක පමණක් නොව අනෙකා විසින් දකිනු ලබන ද්විත්ව රූපයත් යන සිව් මානයත් පෙරළා එකිනෙකා විසින් දකිනු ලබනවා පමණක් නොව අනෙකා ද එය එසේම දකින බැව් පසක් වන්නේ කෙසේද ? සිහිනයකින්වත් එවැනි දෙයක් නම් සිදුවිය නොහැක්කේමය. කෙනෙකුට එසේ සිතෙන්නේ නම් එක්කෝ ඔහු දෙවියන් වහන්සේ විය යුතුය. නො එසේ නම් එය මනෝ ව්‍යාධියක් විය යුතුය.

    තම සිරුරේ සෑම රෝම කූපයක් පාසාම ඉදිකටු තුඩු අනින්නාක් බඳු වේදනාව සමඟ හිස්කබල ගැලවී යන්නාක් මෙන් වූ කරකැවිල්ල දරාගත නොහැකිව ඉදිරිපස අසුනේ ඇලුමිනියම් ආධාරය මත හිස ඔබා ගත් කිත්සිරි බියෙන් හැකිළී ගියේ මේ හිපි සුද්දිය විසින් මෙතුවක් කල් තමා විසින් සුරක්ෂිත කොටගනු ලැබූ නිමලත්වය කිළිටි කෙළේය යන සිතිවිල්ලෙනි. එක්වරම කවුළුවේ වීදුරුව පසෙකට තල්ලු කළ හෙතෙම හිස එතුළින් පිටතට දමා ඔක්කාරය කෙළේය. එවිට ඔහුගේ දෑස් කදුළින් පිරී තිබුණු හෙයින් දෘෂ්ටි පථය මොහොතකට බොඳ වී ගියේය. ඒ සමගම රළු එහෙත් සවිමත් උණුසුම් දෑතක් විසින් ඔහුගේ පපුව හරහා සිරුර වත්තම් කරගන්නාක් බදු ග්‍රහණයක් එතිණ. එහෙත් ඔහු පියාගත් දෑස් තවදුරටත් එලෙසම තබාගත්වනම අසුන මත ඇද වැටී දෑත් දෙපා හකුළා ගත්තේ හිපි සුද්දියගේ ජායා මාත්‍රයක් හෝ දැකීම භයංකර මාරාන්තික අනතුරක් ලෙස සලකමිනි.

    බස් රථය මාවනැල්ලේ කන්ද බසිමින් තිබියදී කිත්සිරි නින්දෙන් අවදි වූ නමුත් ඔහුගේ දෙසවන් තුළින් නොනවත්වා සියුම් හෝ හෝ නාදයක් කම්පනය විය. හිසබරය. සිරුර අප්‍රාණිකය ඔහුට ඉවසුම් නොදෙන පිපාසයක් දැනිණ. එහෙත් වතුර උවමනා බව කීමට තරම් ඔහුගේ මුව විවර වන්නේ නැත. ඔහුගේ සිතිවිලි කියවූවාක් මෙන් මූඩිය විවෘත කළ ප්ලාස්ටික් බෝතලයක් ඔහුගේ දෙතොල් අතරට සමීප වීය. වතුර බීමෙන් පසුව නැවත පණ ලැබුණාක් මෙන් අවදිව වටපිට බලන විට කල්මුණේ සිද්දික් මුදලාලි ඔහුගේ යාබද අසුනේ වාඩී වී සිටියේය. ' කෝ මෙතන හිටිය අර හිපි සුද්දි .. ? ' යි ඔහු සිද්දික් මුදලාලිගෙන් ඇසුවේය.

    ඇය ගැන කිසිවක් කීමට ඉක්මන් නොවූ සිද්දික් ; ' දැං ඔබතුමාට අමාරුවක් නෑ නේද .. ? ' යි ඉතා ළෙංගතු ස්වරයෙන් ඇසුවේය. ' මට ඇති අමාරුවක් නෑ ... මං අහන්නේ කෝ අර මෙතන හිටිය සුද්දී ..?' යි කිත්සිරි නැවත ඇසුවේය. ' අර කඩෙන් තේ බීපු කීප දෙනෙක්ම ඔය විදිහටම ලෙඩ වුණානේ .. ඔබතුමා මෙතන අසනීපෙන් දඟලන්න ගත්තම සුදු නෝනා බයවෙලා බස්සෙකේ .. පිටිපස්සට දිව්වා .. ඉතිං මං තමා දිගටම මෙතන වාඩිවෙලා ඔබතුමාව වත්තං කරගෙන වුන්නේ .. ' යි සිද්දික් කිවේය.

    ඔහු කියන්නේ කුමක්දැයි වටහාගත නොහැකි ලෙස කිත්සිරි ප්‍රශ්නාර්ථය දල්වා බලා සිටි හෙයින් සිද්දික් නැවත කතා කරන්නට ගත්තේය. ' ඔව් .. ඒ කඩේ හකුරු බෝතලේ තිබිලා තියෙන්නේ හකුරු නෙවෙයි .. ඉතිං නොදන්නකමට ඒ හකුරු කාලා කහට බීපු හැම දෙනාම ලෙඩ වෙලා විකාර කරන්න ගත්තා ... ඔබතුමාට වුණෙත් ඒකම තමා ... ' යි සිද්දික් නාට්‍යානුසාරයෙන් විස්තර කෙළේය . ' ආ .. හකුරු නෙවෙයි නං මොනවද ඒකේ තිබිලා තියෙන්නේ .. ? ' යි කිත්සිරි නොරිස්සුම් ලෙස ප්‍රශ්න කෙළේය. ' මොනවද ඉතිං ... හකුරු බෝතලෙයි මදන මෝදක ගුලි බෝතලෙයි දෙක මාරු වෙලා '

    - කේ.සී .ජේ රත්නායක


    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: කිත්සිරි දුටු සිව්මානයේ සමාන්තර සිහින ! Rating: 5 Reviewed By: NT
    Scroll to Top