728x90 AdSpace

  • නවතම පුවත්

    Wednesday, October 11, 2017

    North and Bed (උතුර සහ ඇඳ)

    Image result for better sleep
    කලකට පෙර මා දුටු අපූරු වෙදකමක් පිළිබඳව සිහියට නැ‍ඟේ. ඉතා දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයෙක් වත්තල මාබෝල ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගියේය. මෙතුමාගෙන් වෙදකම ඉගෙන ගත් ගෝල බාලයෝ අදත් සිටිති. ප්‍රතිකාර ගැනීමට එන අයගෙන් කිසිදු ප්‍රශ්නයක් නොවිමසන මේ වෛද්‍යවරයා; රෝගියාගේ අතේ මැණික් කටු සන්ධිය අසල වූ නාඩිය මත තම ඇඟිලි තුඩු තබාගෙන මිනිත්තුවක් පමණ දෑස් පියාගෙන සිටී. ඒ හාම වක්කඩ කැඩුවාක් මෙන් රෝග ලක්ෂණ, රෝගය සහ රෝගියාගේ ජීවන චරිතයේ ඉතා පෞද්ගලික සිදුවීම් පවා ප්‍රකාශ කරන්නේ ඇසූ දුටුවන් මවිතයට පත් කරමිනි. නාඩි ශාස්ත්‍රය පිළිබඳව ඔහුට පුදුම එළවනසුලු දැනුමක් තිබිණ. වෝල්ටර් වික්‍රමනායක නම් වූ ඔහු තලවතුගොඩ හදිසි මරණ පරීක්ෂක ධූරය දැරු අතර ආයුර්වේද ශාස්ත්‍රී සිසුන් අතර නොමඳ සම්භාවනාවට පත් වූ චරිතයක් විය.

    එක් දිනෙක වයස අවුරුදු 35ක පමණ පුද්ගලයෙක් පැමිණියේ ය. සුපුරුදු ලෙස රෝගියාගේ නාඩි පරීක්ෂා කළ වික්‍රමනායක මහතා ඔහුගෙන් ඇසුවේ ප්‍රශ්න දෙකක් පමණි. “ඔබ මීට වසර කිහිපයකට පෙර වස පානය කළා නේද?” ඒ ප්‍රශ්නයෙන් තිගැස්සී ගිය රෝගියා කිසිවක් නොකියා බිම බලා ගත්තේ ය.

    “රෑ තිස්සේ මොකද මේ ඇහැරගෙන ඉන්නේ? ඇඟට නින්ද නම් බොහොම අඩුයි...?” මේ දෙවැනි ප්‍රශ්නයෙන් යළි පිබිදුණු රෝගියා පිළිතුරු ලෙස දිග හෑල්ලක් කියාගෙන ගියේ ය. බටහිර වෛද්‍ය පරීක්ෂණ රාශියක් සිදු කළ බවත් දොස්තරලා මාරු කරමින් ලෙඩේ කුමක්දැයි සෙවීමට වෙහෙස වූ බවත් ඔහු කීවේ ය. වසර ගණනාවක සිට තදබල හිසරදයක් නිසා පීඩා විඳින තමනට දෙවැනි වරටත් වහ බොන්නට තරම් ජීවිතය එපා වී සිටින බව ඔහු කී විට

    “ඔබට කොත්තමල්ලී ඇටයක් තම්බා දීමට තරම්වත් කායික රුදාවක් නෑ...” යැයි සිනාසෙමින් කී වික්‍රමනායක මහතා රෝගියාට ප්‍රතිකාරය ලෙස නියම කෙළේ; ඔහු නිදන ඇ‍ඳේ පැත්ත මාරු කරන ලෙස උපදෙස් දීමය. මේ අමුතු ප්‍රතිකාරය ඇසූ රෝගියා ඇතුළු අපි සියලු දෙනා සිනාසෙන්නට වීමු. වික්‍රමනායක මහතාගේ ගම්භීර රවා බැලීම නිසා සිනහව ලත් තැනම ලොප් වූ නමුත් එහි ප්‍රතිඵලය ඇස් පනා පිටම දැක ගන්නට ලැබිණ. වහ බොන්නට තරම් ජීවිතය එපා වී සිටි රෝගියා සතියකට පමණ පසු පැමිණියේ සිනාමුසුවය.

    “අනේ සර්... සමාවෙන්න ඕනෑ... මං හිතුවේ විහිළුවක් කළා කියලයි. මං ඇ‍ඳේ පැත්ත මාරු කළා. දැන් හරි අපූරුවට නින්ද යනවනේ... හිසරදෙත් අඩුයි...”

    මේ නිදන ඇ‍ඳේ පැත්ත මාරු කිරීමේ ප්‍රතිකාරයේ ශාස්ත්‍රීය පදනම අපට වැටහුණේ ජ්‍යොතිෂය ඉගෙන ගැනීමට ගිය විටය. උතුර ඉතා සුබ දිසාවක් යැයි බොහෝ දෙනා විශ්වාස කරති. ඒ ඇත්තකි. එහෙත් හිස ලා නිදා ගැනීමට ද ආහාරපාන අනුභවයට ද උතුර තරම් නපුරු දිසාවක් තවත් නැතැයි ජ්‍යොතිෂයේ සඳහන් වේ. උතුරට හිස ලා සයනය කරන පුද්ගලයාගේ ආයු සැප බල වර්ණ පමණක් නොව ප්‍රඥාව පවා පිරිහෙන බව කියයි. මේවා මොන හණමිටි මනස්ගාත දැයි කෙනෙකු තර්ක කරන්නේ නම් එහි ඇත්ත නැත්ත ඔහුට ම පරීක්ෂා කර බැලීමේ ක්‍රමයක් තිබේ.

    මාලිමාවක් රැගෙන ගොස් හරියට ම උතුරු දිසාව සොයා ගෙන හිස උතුරට හැරෙන ලෙස ඇඳ සකස් කොට කෙටි කලක් එහි නිදාගෙන බලන්න. කෙනෙකු දැනටමත් නො දන්නාකමට උතුරට හිස ලා නිදා ගැනීමට පුරුදු වීම නිසා අමිහිරි අත්දැකීම් ලබමින් සිටින්නේ නම් හිස දකුණට සිටින ලෙස ඇඳ සකස් කොට නිදාගෙන බලන්න. මෙතෙක් විඳි පීඩාව නිදි පැදුරටත් නො කියා ම පලා ගොස් ඇති බව ඉක්මනින් ම දැන ගන්නට ලැබේවි.

    නින්ද සහ උතුරු දිසාව අතර පවතින්නේ පසමිතුරු සබඳතාවකි. නිදන කාමර, නිදන ඇඳ සහ නිදන විට හිස පිහිටන දිසාව යන කිසිවක් සඳහා උතුර තෝරා නො ගත යුතු යැයි ජ්‍යොතිෂය විසින් අවධාරණය කරනු ලබන්නේ සරල සහ සංකීර්ණ හේතු ගණනාවක් ඉදිරිපත් කරමිනි. ඒ අතරින් කා හටත් පහසුවෙන් වටහා ගත හැකි එක් නිදසුනක් නම් චුම්බක ක්ෂේත්‍රය හෙවත් කාන්දම් බලය යි.

    මහ පොළොවේ ඇති අසමසම කාන්දම් ශක්තිය හැම විටෙම ගමන් කරන්නේ උතුරේ සිට දකුණට ය. පොළොව මතුපිට ඇති දූවිලි අංශුවේ සිට හිමාලය දක්වා වූ සියලු දෙයක් ම ඒ නියමයට යටත් වේ. කාන්දම් කූරක හරි මැදින් නූලක් ගැට ගසා එය අවකාශයේ කරකැවෙන්නට සැලැස්සුවහොත් හැම විටෙම එහි උතුරු අග්‍රය උතුරු දෙසට හැරී නතර වේ. මාලිමාව නිර්මාණය කැර තිබෙන්නේ ඒ නියමය මතය.

    දැන් කෙනෙකු උතුරු දිසාවට හිස ලා නිදා ගත් විට සිදු වන්නේ මුළු රාත්‍රිය පුරාම ඔහුගේ හිස සහ මොළය අර කාන්දම් ශක්තියට නිරාවරණය වීමයි. මෙහි විපාකය කෙටිකාලීන සහ දිගුකාලීන වශයෙන් දෙයාකාරය. මෙවැනි පුද්ගලයකු උදෑසන අවදි වන්නේ අලුත් නැවුම් දවසක ඇති ප්‍රබෝධයෙන් නොවේ. හිසරදය තෝන්තුවාව කෙඩෙත්තුව නොරිස්සුම ආදි බැරි අමාරුකම් පොකුරකින් ඔහු පීඩා විඳී. ඔහු කාර්යාලයට ගියත් ගෙදර සිටියත් දවස ගෙවන්නේ බාගෙට මළා වගේ ය.

    නින්ද ජීවිතය පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය සාධකයකි. නින්දට අප තල්ලු කොට දමන්නේ නිදි මත විසිනි. ඒ නිදි මත ඇති කරවන්නේ ශරීරයේ හට ගන්නා ජෛව රසායනික මිශ්‍රණයක් ක්‍රියාත්මක වීමෙනි. අපට නිදා ගන්නට සලස්වා ඒ මුළු කාලයේදී ම ශරීරය අබිරහස් ක්‍රියාවලියක යුහුසුලු වේ. සිරුරේ කැඩුණු බිඳුණු තැන් පිළිසකර කිරීම, අධිකව රත් වූ තැන් සිසිල් කිරීම සහ සමස්තයක් වශයෙන් සිරුරේ නිරෝගී පැවැත්මට අත්‍යවශ්‍ය අභ්‍යන්තර සමතුලනය ඇති කරවීම ආදි සියල්ල සිදු කරන්නේ අප නිදි ගත් විට ය. දහවල් කාලයේ දී මොළයේ එක්රැස් වූ විෂ අපද්‍රව්‍ය බැහැර කිරීම සහ මොළය පිරිසුදු කිරීමේ කටයුතු සියල්ල සිදු වන්නේ ද අප නිදිගත් විටය. මේ සියල්ල දිනපතා නිසි ලෙස සිදු නොවුණොත් සිදු වන්නේ ජීවිත කාලය කෙටි වීම, නිතර නිතර රෝගයන්ට ගොදුරු වීම, ශරීර ශක්තිය පිරිහීම, රූප කාය අකලට ජරාජීර්ණ වීම යනාදී උපද්‍රවයන්ට ගොදුරු වීමය.

    මොළය නිසි ලෙස පිරිසුදු නොවීම නිසා ඔහු මනසින් ද ඉතා දුබල තත්ත්වයකට පත් වේ. නින්ද සඳහා කිසිසේත්ම උතුරු දිසාව තෝරා නො ගන්නැයි ජ්‍යොතිෂය විසින් අවධාරණය කරනු ලැබුවේ ඇයි යන කාරණය දැන් ඔබට පැහැදිලි වන්නට ඇති. උතුරු දිසාවේ ඇති කාන්දම් ශක්තිය නිසා පුද්ගලයාට හරිහමන් නින්දක් නො ලැබේ. අනෙක් අතට එය ශරීරය සහ මොළය විසින් සිදු කරනු ලබන අත්‍යවශ්‍ය පිළිසකර කිරීමේ ක්‍රියාවලියට දැඩි ලෙස බාධා අවහිරකම් සිදු කරයි. උතුරු දෙසට හිස ලා සයනය කරන පුද්ගලයාගේ ආයු සැප බල වර්ණ සහ ප්‍රඥාව පිරිහෙන බව කියා තිබෙන්නේ ඇයි දැයි තේරුම් ගැනීමට මේ හේතු ටික හොඳට ම ප්‍රමාණවත් ය.

    උතුර පමණක් නොව ඊසාන දිසාව ද සයනය සඳහා අයෝග්‍ය වන්නේ යැයි ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ ඉහත කී ආකාරයේ සමාන්තර හේතු නිසාය. බටහිර දකුණ නිරිත සහ නැ‍ඟෙනහිර පිළිවෙළින් සයනය සඳහා වඩාත් උචිත දිසාවන් වේ.

    අලුත විවාහ පත් වූ යුවතිපතීනට නිරිත දිසාව ඉතා උචිත යැයි කියන අතර මහලු වියේ සිටින අය එම දිසාවේ සයනය නො කළ යුතු බවත් එක් ආචාර්ය මතයකි. නිදන කාමරය සහ ඇඳ මේ කුමන දිසාවකින් තෝරා ගත්ත ද හැම විටෙම හිස දැමිය යුත්තේ හැකිතාක් උතුර සහ ඊසාන යන දිසාවන් හසු නොවන පරිදි ය. මේ සඳහා ප්‍රශස්ත දිසාව වන්නේ දකුණ ය.

    කේ.සී.ජේ. රත්නායක

    ada Newspaper / 11/10 2017
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: North and Bed (උතුර සහ ඇඳ) Rating: 5 Reviewed By: NT
    Scroll to Top